දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
අද (31) සහ පසුගිය දෙදින තුළ බලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා පිළිබඳ පැහැදිලි කරමින් එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පූර්ව දැනුම්දීම්) රවී ජයරත්න මහතා මේ බව දන්වා සිටියේය.
මෙම අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 327ක පුද්ගලයින් 1,278ක් අද උදෑසන වනවිට පීඩාවට පත්ව ඇත.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේද ස්ථාන 32ක ගස් කඩාවැටීම්, විදුලි රැහැන් බිඳවැටීම් වැනි ආපදා සිදුව ඇති බවද රවී ජයරත්න මහතා පැවසීය.
එමෙන්ම දිවයින පුරා අර්ධ නිවාස හානි 1,184ක් පමණ සිදුව ඇති බවට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය වෙත තොරතුරු ලැබී ඇත.
එම නිවාස හානි තක්සේරු කර එම පීඩාවට පත් ජනතාවට මුදල් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.
ත්‍රිවිද හමුදාව, පොලීසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්, ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මේ වනවිට සියලු ආපදා යථා තත්ත්වයට පත්කර ඇත.
කෙසේ නමුත් විදුලිය නැවත ලබාදීම් කටයුතු තවමත් සිදුකරගෙන යන බවද රවී ජයරත්න මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඕනෑම ආපදා අවස්ථාවකදී 117 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දන්වා සිටියි.