Headlines

    මහා ශිව රාත්‍රී දිනය අදයි..

    ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (11) දිනට යෙදී තිබේ. ඒ අනුව ලොව පුරා හින්දු බැතිමතුන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අද (11) රාත්‍රියේ දී මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි.

    හින්දු දහමට අනුව මහා ශිව රාත්‍රීය යනු දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනය මහා ශිව රාත්‍රීය යන්නයි.

    විශ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ  ගැටුමේදී ශීව දෙවිඳුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් වේ. ඒ අනුව විශ්ණු දෙවියන් සූකර වෙස් ගෙන මිහිගැබ හාරමින් ද මහා බ්‍රහ්මයා  හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත ගිය ද ඔවුන් දෙදෙනාටම එහි දෙකෙළවර සොයා ගැනිමට නොහැකි විය.

    මෙම හේතුවෙන් හින්දු බැතිමතුන් ලොව බලවත්ම දෙවියා ශීව දෙවියන් බවට විශ්වාස කරනු ලබයි.

    මේ අනුව ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන මහා ශිව රාත්‍රී දිනය ලොව පුරා හින්දු බැතිමතුන් අද (11) රාත්‍රීයේ සිට හෙට (12) උදෑසන දක්වා ශිව දෙවියන්ට පුජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි.

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ දී මහ ශිව රාත්‍රී දින වතාවත් සිදුකිරීම සෞඛ්‍ය රීතීන්වලට අනුගත වෙමින් හින්දු බැතිමතුන්ට සිදු කිරීමට වූ බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ ශිව රාත්‍රී දින පණිවිඩයක් නිකුත් කරමින් කියාසිටියේ,  මහා ශිවරාත්‍රී දින පහන් සිල හින්දු ජනයාගේ අධ්‍යාත්මය ආලෝකමත් කරන්නා සේම සමස්ත සමාජය පුරා සාමය සංහිඳියාව හා සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවය.

    ජනාධිපතිතුමාගේ මහා ශිව රාත්‍රී දින පණිවිඩය මඟින් වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ මෙවර සෞඛ්‍ය රීතීන් ලිහිල් කර ඇති නමුත් ගිය වසරේ මෙන් සෞඛ්‍ය රීතීන්වලට අනුගත වෙමින් මෙරට හින්දු බැතිමතුන් උදාවන මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබන ලෙසය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *