මෙම වසරේ පෙබරවාරි 1 දින මියන්මාර හමුදා කුමන්ත්‍රණය සිදු වූ දා සිට මේ දක්වා එරට වැසියන් අඛණ්ඩ විරෝධතා ක්‍රියාත්මක කළ අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ නායිකාව වන අවුන් සාන් සුකී නිදහස් කර නැවතත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන ලෙසය.
නමුත් හමුදා පාලකයින්ගෙන් විරෝධතාකරුවන්ට ලැබෙන ප්‍රතිචාරය දිනෙන් දින දරුණු අතට හැරෙන අතර විරෝධතාකරුවන්ට උත්තර ලැබෙනුයේ වෙඩි උණ්ඩ වලිනි. ඊයේ (14) දින තුළ පමණක් එරට විරෝධතාකරුවන් 38ක් දෙනෙක් මේ හේතුවෙන් මිය ගොස් තිබේ.

පසුගිය සතියේ ද අවුන් සාන් සුකීට එරෙහිව තවත් චෝදනා කිහිපයක් ගොනු කිරීමට හමුදා පාලකයින් පියවර ගෙන තිබිණ.
තවද විරෝධතාකරුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා චෝදනා කරන්නේ, චීනය මියන්මාර හමුදා පාලකයින්ට සහය ලබා දෙන බවයි.
එරට ඊයේ (14) දිනයේ දී වැඩිම විරෝධතාකරුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යැංගොන්හි විරෝධතාවට එල්ල වූ ප්‍රහාරවලින් වන අතර මියන්මාරය පුරා විරෝධතා ක්‍රියාත්මක බව වාර්තා වේ. මෙහි දී මියන්මාර විරෝධකරුවන් මියන්මාරයේ පිහිටි චීන කර්මාන්තශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසකට පහර දීමත් සමග එරට හමුදා පාලකයින් විසින් ලයින්තාර්යා සහ ෂ්වේපිතා ප්‍රදේශවලට යුද නීතිය පැනවීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මියන්මාර හමුදා පාලකයින්ගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක බලවතුන් ඉල්ලා සිටින්නේ අවුන් සාන් සුකී ඇතුළු පිරිස නිදහස් කරමින් ප්‍රජාත්න්තතවාදය යළි ස්ථාපනය කරන ලෙසය. නමුත් මියන්මාර හමුදා පාලකයින් සිය තීරණය අඩියකින් හෝ පිටුපසට තැබීමේ සූදානමක් ඇති බවක් පෙනෙන්නට හෝ නොමැත.
පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණය අඩ සියවසකට අධික කාලයක් පැවති මියන්මාර හමුදා පාලනය අවසන් වීමෙන් අනතුරුව මියන්මාරයේ පැවති දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වේ.

