Headlines

    හෙට ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..

    අපවත් වී වදාළ  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් හෙට (25) ශෝක දිනක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව හෙට (25) දින පුරාවට කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද සා තැබෙනු ඇත.

    මෙහි දී අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමියන් විසින් සිදුකළ ජාතික, ආගමික හා ශාසනික සේවය සැලකිල්ලට ගනිමින් මෙම ශෝක දිනය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

    කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 පෙරවරුවේ අපවත්වන විට උන්හන්සේ 88 හැවිරිදි වියේ පසුවූ අතර උන්හන්සේ එතෙක් වැඩ වාසය කළේ ගල්කිස්ස ධර්මාපාලාරාම විහාරස්ථානයේ ය.

     ගම්පහ කොටුගොඩදී උපන් අතිපූජ්‍ය ධම්මාවාස නාහිමියන් මූලික අධ්‍යාපනය ලැබුවේ කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලෙන් වන අතර 15 හැවිරිදි වියේදි පැවිදි දිවියට ඇතුළත් ව අනතුරුව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙන් අධ්‍යාපනය ලබා 1954 ජූලි 10 වැනිදා කළුතරදී උපසම්පදාව ලැබූහ.

    එතැන් පටන් උන්වහන්සේ  සිය ශාසනික, සමාජීය මෙහෙවර තවත් පුළුල් කරමින් බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් කැපවූහ.

     2007 වසරේදී එම මාහැඟි ශාසනික මෙහෙවර අගයමින් බුරුම රජය  උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත පදවිය පිරිනමන ලදී.

     2017 වසරේදී උන්වහන්සේ අමරපුර නිකායේ උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලැබුවේය.

    බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කළ මහා නාහිමියන් ග්‍රන්ථ 30 කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇත.

    අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (25) සිදු කෙරෙනු ඇති.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *