Headlines

    සූවස් ඇළේ නැවක් සිරවේ – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට..

    ඊජිප්තුවේ සූවස් ඇල (Suez Canal ) හරහා සිර වූ නෞකාව හේතුවෙන් ලොව පුරා නෞකා කාලසටහනට බලපෑමක් සිදුව ඇතැයි වාර්තා වේ.

    MV EVER GIVEN නම් මෙම නෞකාව ඉතා ඉක්මණින් ඉවත් කිරීමට හැකිවනු ඇතැයි එහි හිමිකරු පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන නෞකාවක් බවට වාර්තා වේ.

    එහි එන්ජින් සහ විවිධ උපකරණවලට කිසිදු හානියක් සිදු වී නොමැති බව අදාළ නෞකාවේ හිමිකරු වන Shoei Kisen පවසා ඇත.

    ලෝක වෙළෙඳාමේ නෞකා මෙහෙයුම්වලින් 12%ක් සිදුවන්නේ සූවස් ඇළ හරහා වන අතර ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සූවස් ඇළ, මෙම අවහිරතාවය සිදු වීම නිසා ඇළ දෙපස වෙනත් නැව් 200 කට අධික ප්‍රමාණයක විශාල තදබදයක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    තව ද එම නෞකා අතර ඉන්ධන බැරල් මිලියන 13ක් රැගත් නෞකා 10ක් ද වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් තිබෙන අතර  බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 64 යි සත 57 ක් ලෙස දැක්වුණි. තව ද අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60 යි සත 97 ක් ලෙස දැක්විය.

    මීට අමතරව ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, එන්නත් ප්‍රවාහනය කිරීමේ ද ගැටලු ද මතුව තිබෙන බව වාර්තා වේ.

    සුවස් ඇළ අධිකාරිය (The canal authority) ප්‍රකාශ කරන්නේ, නෞකාව නැවත දියඹට යැවීමට නම් , වැලි කියුබ් මීටර් 15,000 ත් 20,000 ත් අතර ප්‍රමාණයක් ඉවත් කළ යුතු බවයි.

    මෙම නෞකාව සිරවීමේ තත්ත්වය ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවික කටයුතුවලට ද යම් බලපෑමක් එල්ල කරනු ඇති බව BBC පුවත් සේවය සඳහන් කරයි.

    කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේ, සූවස් ඇළේ තෙල් නැවක් සිරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවන අතර සති දෙකකට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාව සතුව ඇති බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *