කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරේ, දිස්ත්‍රික්ක 10කට අද උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.
ඒ අනුව මුලිතිව්, වව්නියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල යන දිස්ත්‍රික්කවලට එලෙස වැඩි උණුසුම් කාලගුණයක් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරේ, දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පැවතීම හේතුවෙන් මෙම වැසි රහිත වියළි කාලගුණ තත්වය ඇතිව තිබෙන බවයි.
මෙම කාලගුණික තත්වය හමුවේ ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇදීම මෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් වන්නැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළේය.
කෙසේ වෙතත් සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.