කුරුඳුවත්ත පොලිසිය විසින් ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලයින් ජුරී සහ නිරූපිකා වූලා පත්මේන්ද්‍රන් අද (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව පසුගියදා කොළඹ දී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ දී සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේය.
පසුගිය 5 වන දා නෙළුම් පොකුණ රඟහලේ දී පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය.
එහි දී ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසින් ඇයට කිරුළ පැලඳවූ අතර එය පළඳා මිනිත්තු කිහිපයක් යන්නට මත්තේන් කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවයි.
එම මොහොතේ කැරලොයින් ජූරි පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත්කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳන ලදී.
කෙසේ වෙතත් ඉකුත් 6 වනදා කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසුවේ තමා දික්කසාද වී නොමැති අතර තමන් සහ තම සැමියා වෙන්ව ජීවත් වන බවයි.
ඒ අනුව එම විවාහක රූ රැජින තරගයේ සංවිධායකයින් විසින් පසුගිය දා එම ජයග්‍රාහි කිරුළ නැවතත් පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබාදීමට කටයුතු කළේය.
කෙසේ නමුත් මෙලෙස අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර අද (08) සවස කුරුඳුවත්ත පොලීසිය විසින් පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
