Headlines

    දෙවැනි පාසල් වාරය අද සිට ඇරඹෙයි..

    දිවයිනේ සියළු රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා අද (19) විවෘත කෙරුණි.

    ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ලබාදී ඇති උපදෙස් අකුරටම පිළිපදිමින් සහ පසුගිය මාර්තු මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ උපදෙස් ද සැලකිල්ලට ගෙනය.

    එහි දී අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පාසල් විවෘත කෙරුණු අතර ඒ අනුව බස්නාහිර පළාතේ පාසල් සඳහා ළමුන් ගෙන්වාගැනීම තවදුරටත් කාණ්ඩ ක්‍රමය යටතේ සිදු කෙරිණ.

     අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, පාසල් වෙත සිසුන් ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව නිර්දේශ ඉදිරිපත් කරනතුරු පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කළ යුතු බවය.

    ඒ අනුව පන්තියක සිසුන් සංඛ්‍යාව 15 ට අඩු නම් සියලු සිසුන් දිනපතා පාසල් වෙත කැඳවිය යුතුවේ.

    සිසුන් 16-30 අතර සිටීනම් කණ්ඩායම් දෙකක් වශයෙන් ද, 30 ට වැඩි නම් කණ්ඩායම් 3 ක් වශයෙන් ද පාසල් වෙත කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් ලබාදී තිබේ.

     අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, ආහාර හුවමාරු කර නොගැනීම, නිවසේ පිළියෙල කළ ආහාර පමණක් ගෙන ඒම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දරුවන් පාසල් වෙත කැඳවීමට සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක අංශ ඇතුළු විවිධ පාර්ශව වෙතින් මෙතෙක් ලබා දුන් සහායට කෘතවේදීත්වය පළ කරන බව ද, ඉදිරියටත් වගකීම්සහගතව ඒ අයුරින්ම කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *