2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයට වසර 2ක් ගතවන, එළඹෙන 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත මේ වන විටත් නිතුක්කර ඇති බවයි.
එහි දී දැනුම් දී ඇත්තේ සියලුම ප්‍රාදේශිය අධීක්ෂණ නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් තම බලප්‍රදේශයේ අදාළ සිහිකිරීම සිදුකරන දේවස්ථානවල පියතුමන්ලා, පූජකතුමන්ලා සහ ආගමික නායකයින් හමුවී ඔවුන් සමඟ සාකච්ඡාකර එම වැඩසටහන් සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි උපරිම ආක්ෂාවක් සලසන ලෙසයි.
මේ අතර අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙසය.

කාදිනල් හිමියක් වැඩිදුරටත් සඳහන් කරේ, 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරුදින ප්‍රහාරයේ මුල්ම ගොදුර ලෙස කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේ උදෑසන 8.45ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වු අතර, එය සිහිකිරීම වෙනුවෙන් එලෙස නිහඬතාවයක් පවත්වන බවයි.