ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන මස 01 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඒ අනුව පළමුවෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට එම එන්නත් වල දෙවන මාත්‍රාව ලබාදෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ තුන හමාරක් පමණ තිබෙන බවයි.
කෙසේ වෙතත් අද (20) දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන දෙවන මාත්‍රාව වශයෙන් චීන සිනොෆාම් එන්නත ලබා දීම සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, යම් රෝගියෙකුට පළමු එන්නත වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබා දුන්නේ නම් දෙවන එන්නත ද ඇස්ට්‍රා සෙනිකා එන්නත ම ලබා දිය යුතු බවට දැනට නිර්දේශ වී ඇති බැවින් ඒ අනුව රජය කටයුතු කරන බවයි.
එහි දී ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ජනවාරි මස 29 ලබා දුන් බවත්, පළමු මාත්‍රාව ලබා දෙන විට සති 04ක් තුළ දෙවන මාත්‍රාව ලබා දීමට නිර්දේශ වී තිබුණ ද නව විද්‍යාත්මක දත්ත අනුව සති 12 කින් ලබා දීම වඩාත් සුදුසු බව නිර්දේශ වී ඇති බැවින් දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් 29 දිනට පසුව එනම් මැයි 1 වැනිදා සිට ලබාදෙන බව වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේය.