Headlines

    මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID ප්‍රභේදය බව තහවුරු වෙයි – ඊයේ මෙරට දෛනික ආසාදිතයින් 1000 ඉක්මවා යයි..

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 1111 දෙනෙකු ඊයේ (27) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

    ඒ අනුව මෙරට දිනක් තුළ කොවිඩ් අසාදිතයින් 1000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

    ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඊයේ (27) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 200 ක් ලෙස දැක්වේ.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 119 ක් වාර්තා වන අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 දෙනෙකු ද වාර්තා වී ඇත.

    අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, පොල්ගොල්ල, හෙට්ටිපොල, මතුගම, නුගේගොඩ, පන්නිපිටිය, අඹගහපැලැස්ස, වත්තල සහ ශ්‍රි ජයවර්ධනපුර යන ප්‍රදේශ වල පුද්ගලයින් වේ . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 650 සීමාව ද ඊයේ දිනයේ ඉක්මවා ගියේය. ඒ කොවිඩ් මරණ 655ක් ලෙසයි.

    මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ, මෙරට පැතිර යන Covid-19 වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ පැතිර යන වෛරස ප්‍රභේදය බව තහවුරු වී ඇති බවයි.

    ඒ අනුව දැනට ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් යන වෛරස ප්‍ර‌භේදය බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු B 117 කොරෝනා වෛරස් ප්‍රභේදයට 100% සමාන බව අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.

    ඒ කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍ර දේශවලින් ලබා ගත් සාම්පල 43ක නියැදියක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ලැබූ ප්‍රතිපල අනුව බව ඒ මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත් අද (28) සිට කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබා දීම ආරම්භකර ඇති බව වාර්තා වේ.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 103,487
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 94,856
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 7,976
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 655

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *