මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට..

මෙම අවස්ථාව වනවිට මෙරට රෝහල්වල ධාරිතාව උපරිම මට්ටමට ළඟා වෙමින් ඇතැයි, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

එම මහත්මිය සඳහන් කලේ, සමාජයේ දැනට හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවය.

එහිදී යම් කිසි අයෙක්  PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව තම වාර්තා පැමිණෙන තුරු නිවසින් එළියට නොගොස් නිවසට ම වී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියා ය.

මේ වන විට මෙරට දෛනිකව විශාල PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරන බැවින් වාර්තාවල යම් ප්‍රමාද ඇති බවට වාර්තා වන බව එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

රටේ පවති කොවිඩ් වසංගත තත්වය වැඩි වීමක් පෙන්නුම් කරන නිසාවෙන් ඉදිරි සති 2,3 තුළ අනවශ්‍ය ගමන් බිමන් නොගොස් , සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අවදානම් මොහොතේ රට වෙනුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා වගකීම ඉෂ්ට කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එසේ නොමැති වුවහොත් රෝගය වේගයෙන් පැතිර යන මේ මොහොතේ පාලනය කිරීම අසීරු විය හැකි බව ඇය ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් මෙරට පවතින තත්ත්වය යටතේ නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලත් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා අවශ්‍යව ඇති බැවින් පසුගිය සමයේ මෙන් පිටරටවල සිට විශාල පිරිසක් පැමිණිය හොත් ඔවුන් නිරෝධායනය කිරීමේ දී ගැටලු පැන නගින බැවින් පිටරට සිට මෙරටට පිරිස් ගෙන්වා ගැනීම සීමා කිරීමට සිදු වන බව ද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

මේ අතර ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට මගීන් රැගෙන ඒම තාවකාලිකව නතර කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.

ඒ ඉන්දියාවේ පවතින කොවිඩ් 19 තත්ත්වය සහ මෙරට සෞඛ්‍ය අංශ නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *