Headlines

    ලෝක මවුවරුන්ගෙන් දිනය අදයි – ගර්භනී මව්වරුන්ට විශේෂ උපදෙස් මාලාවක් ..

    ලෝක මවුවරුන්ගේ දිනය අද (09) දිනට යෙදී තිබේ.

    සෑම වසරකම මැයි දෙවන ඉරිදා ලෝක මවුවරුන්ගේ දිනය සමරන අතර එනිසා එයට නිශ්චිත දිනයක් නොමැත.

    මේ වසරේ එය මැයි 9 වන දින සමරනු ඇති අතර ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය 2021: මව්වරුන්ට ගෞරව දැක්වීමේ දිනයක් ලෙස ලොව පුරා සමරනු ලැබේ.

    “හෙළ මව් වරුන් විසින් ඉටුකරන්නා වූ නිහඬ සේවය, ඒ නිහඬ බව නිසාම අපට අමතක වේගෙන ගිහින්. ඒ ගැන කෙනෙකුට දැනෙන්නේ තමන්ගෙ රත්තරං අම්ම තවදුරටත් ඒ සේවය කරගන්න බැරි තරමටම දුර්වල වුනාම, එහෙමත් නැත්තම් සදහටම වෙන්වෙලා ගිය දවසට. අපි මොහොතකට හිතල බැලුවොත්, අපේ මව් වරුන් අතින් දෛනිකව ඉටුවන සේවය කොතරම්ද? ඇය රැකියාවක් කළද, නොකළද, ඇය අතින් රටට ඉටුවන සේවය අති මහත්. භාර්යාවක්, මවක් වශයෙන් ඇය ගෘහය පිළිබඳ සියලු කටයුතු සොයාබලන්නීය. ගෙදරදොර අස්පස් කිරීමේ, පිරිසිඳු කිරීමේ සිට, ආහාර පිලියෙළ කිරීම දක්වාත්, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයාබැලීමේ සිට, ගේදොර වියහියදම් පාලනය දක්වාත් සියලු කටයුතු ඇය අතින් සිදුවේ. අද මේ කටයුතු ආයම්මා අතට පත්වන්නේ මව්වරුන්ටද මුදල් හම්බකිරීමේ ආර්ථික සටනට උරදෙන්නට සිදුවන බැවිනි. නමුත් වැඩිපුර සොච්චමක් හම්බ කරගන්නට අප බිල්ලට දී ඇත්තේ පව්ලේ අනාගතයයි. කිසිදු ආයම්මා කෙනෙකුට අම්මාගේ අඩුව පිරිමහන්නට බැරිය. අම්මා තරම් ආදරයෙන් පරෙස්සමෙන් ආයම්මලාට කටයුතු කරන්නට බැරිය. එනිසා ඒ අඩුව සදහටම රස්සාවල් කරන අම්මලා ඉන්නා පවුල් වලට දැනෙනු ඇත. අනෙක් අතට මව්වරුනට ආර්ථික සටනට උරදෙන්නට සිදුව ඇත්තේ පවත්නා වූ තරඟකාරී ආර්ථික රටාවට පින්සිදුවන්නටය. තරඟකාරී ආර්ථික, සාමාජික තත්ත්වය නිසා සංකීර්ණ වන්නා වූ පවුලේ අවශ්‍යතා සපුරාලන්නට තාත්තාගේ ලේ කඳුලු තවදුරටත් ප්‍රමානවත් වන්නේ නැත.අදටත් ගෘහණියක්/මවක් පමණක් වී තම වගකීම් සම්භාරය ඉටුකරන හෙළ කුළ කාන්තාවන් දක්නට ලැබීම වාසනාවකි. ඇය රටට කරන්නාවූ අතිමහත් සේවය මෙබඳු ලියන් නොමැති කලක රටට හොඳින්ම දැනෙනු ඇත. ඇය රැකියාවක් කර මුදල් උපයන්නේ නැතත්, ඇය තම සැමියා රැකියාවෙන් උපයන මුදල් අරපිරිමැස්මෙන් යුතුව වියහියදම්කිරීමම විශාල සෙවයක් නොවන්නේද? අනෙක් අතට බලන කල ඇය රැකියාවක් නොකලත්, අපේ රටේ ශ්‍රම හමුදාවම පෝශණය කරන්නී, ලකලැහැස්ති කොට සේවයට යවන්නි ඇයම නොවේද? ඉතින් එහෙව් අපේ මව් වරුන් වෙනුවෙන් එක දවසක් වෙන් කිරීම ඇද්ද? “ – උපුටාගැනීමකි.

    පවුල තුළ මාතෘ බැඳීම්, ජාත්‍යන්තර මාතෘ දිනය සෑම වසරකම මැයි දෙවන ඉරිදාට යෙදෙන වැදගත් අවස්ථාවක් වේ.

    මේ අතර COVID-19 වසංගතය ව්‍යාප්තිය හමුවේ ගර්භනී කාන්තාවන් වඩාත් අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බැවින් ගර්භණී කාන්තාවන් සඳහා උපදෙස් මාලාවක් සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශය මගින් ඉදිරිපත් කර ති‌බේ.

    එහිදී ගර්භණී කාන්තාවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වේ.

    තව ද ගර්භණී කාන්තාවකට COVID-19 වසංගතය වැළඳුණහොත් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවත්, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිදු හේතුවකට නිවසෙන් පිටතට නොයන ලෙසත් සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශය මගින් ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාවේ අන්තර්ගතය වේ.

    උපදෙස් මාලාවේ සඳහන් පරිදි,

    වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථානවල රැඳී සිටීම අවම කිරීම
    සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පැළඳීම
    පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම
    අවමංගල්‍ය උත්සව වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම
    නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම

    වැනි උපදෙස් ගර්භණී කාන්තාවන් විසින් පිළිපැදිය යුතු වේ.

    එමෙන්ම ගර්භණී සමයේ ඇතිවිය හැකි,

    උණ, රුධිර වහනය, තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පෙනීමේ අපහසුතාවය, වලිප්පුව (Fit), පපුවේ/උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩුවක්, සිරුරේ ඉදිමීම, හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවන් අවදානම් සංඥාවක් ලෙස මතු වුවහොත් වහාම රෝහල වෙත යා යුතු ය. තව ද ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි දැනුවත් කිරීම ද අනිවාර්යය වේ.

    එසේම,

    තම පවුලේ අයෙකු නිරෝධායනයට ලක්වෙනවා නම් හෝ COVID-19 රෝගියෙකු යැයි සැක කරන පුද්ගලයෙකු නිවසේ වාසය කරනවා නම් හෝ ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී දැනුවත් කිරීම,

    තම ආරක්ෂාව තහවුරු කිරීමට, හැකිතාක් ඔවුන්ගෙන් ඈත්ව සිටීම,

    යම් හෙයකින් තමාට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැකයක් ඇත්නම් වහාම ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය දැනුවත් කිරීම හා අවශ්‍ය ප්‍රතිකාරවලට වහාම යොමුවීම සිදු කිරීම අනිවාර්යය වේ.

    මේ පිළිබඳව තොරතුරු තම පවුල් සෞඛ්‍ය නිලධාරී හෝ 1999 සුවසැරිය දුරකතන සේවාවට අමතා කරුණු සාකච්ඡා කළ හැකි වේ.

    වැඩිදුර විස්තර..

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *