දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර , ඌව නැගෙනහිර පළාත්වලත් ගාල්ල , මාතර ,පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව එම පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථා වලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 09කට නායයම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන සඳහන් කළේ ය.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, බලන්ගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කළ බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මිලිමිටර් 75 ඉක්ම වූ වර්ෂාපතනයක් පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට ඇදහැලී ඇති බැවින් නායයාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම් , පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් වැනි කරුණු කෙරෙහි එම ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනු ලබයි.