බස්නාහිර , සබරගමුව ,දකුණ , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේ මිලිමීටර් 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව ගිණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ සහ යාබද ලක්ෂදීපය ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ දැක්වේ.
පවතින වැසි සමඟ කළුතර දිස්ත්‍රික්කයේ , කුකුළේ ගඟ සහ කුඩා ගඟ ජල මට්ටම් සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් ඇතැයි , වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද සඳහන් කළ අතර ඒ හේතුවෙන් , බුලත්සිංහල , පාලින්දනුවර ,මිල්ලනිය සහ හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ වන විට නිල්වලා , ගිං සහ කළු ගංගා වල ජල මට්ටම් ද ඉහළ යමින් ඇතැයි , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුව ඒ අවට ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්න ලෙසයි.
මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ , කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල , පාලින්ද නුවර , අගලවත්ත , වළල්ලාවිට, ඉංගිරිය , මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද ගාල්ල දිස්ත්‍රික්කයේ , නියාගම , ඇල්පිටිය , නාගොඩ , නෙළුව බද්දේගම , තවලම සහ යක්කලමුල්ල ප්‍රදේශ සඳහා ද එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.
මේ අතර ධීවර දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ පවතින අයහපත් වර්ෂා තත්වය හේතුවෙන් අද (13) සිට නැවත දැනුම් දෙනතුරු බේරුවල , දික්ඕවිට , පිටිපන , කල්පිටිය සහ මයිලඩි යන ධීවර වරායන්වලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යන බහුදින යාත්‍රා සඳහා අවසර ලබා නොදෙන බවය.