30 වසරක් පුරා මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය නිමා කරමින් නිදහස් හා නිවහල් දේශයක් වෙනුවෙන් තම දිවි කැප කළ දේශප්‍රේමීන් අනුස්මරණය කරමින් 12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අබියස දී අද (19) පස්වරු 4.15 ට පැවැත්වේ.
ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල අභිමානවත්ව සැමරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
2009 වසරේ මැයි මස 18 වැනි දිනෙන් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි 30 වසරක සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදා සාමාජිකයින් 23,962 කු නාවික හමුදාවේ 1,160 කු ගුවන් හමුදාවේ 443 කු , ශ්‍රී ලංකා පොලිසියේ 2,598 කු සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු මෙම සැමරුම් උළෙලේදී සිහිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.
ආරක්ෂක අමාත්‍යශයේ පුර්ණ අධික්ෂණය යටතේ රණවිරු සේවා අධිකාරිය විසින් මෙම සැමරුම් උළෙල සංවිධාන කරනු ලබයි.




