සීදූව ප්‍රදේශයේ ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේ ය.
පෞද්ගලික ආයතනයක් විසින් යුද හමුදාව වෙත ලබාදුන් ගොඩනැඟිල්ලක ඉදිකෙරුණු මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන වාට්ටු 03කින් සමන්විත අතර මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එකවර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200කි.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකග්‍රතාව සුරැකෙන පහසුකම් රැසකින් සමන්විත වේ.
යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම් නිම කළ ඇති අතර රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරුවෝ පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් මසා නිම කළ ඇත.
නිවෙස්වල ප්‍රතිකාර දිය නොහැකි, එහෙත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාධිතයන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිත අතර එමගින් රෝහල්වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සහ අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ.
මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාධිතයන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය සේවා සැපයීම, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද හමුදා වෛද්‍ය බලකාය එක්ව සිදු කෙරේ.







