රටේ පවතින වසංගත අවදානම් තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.
අද දින (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙිදී වෙසක් උත්සවය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
එහි දී කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ, වෙසක් උත්සවය අංශ ගණනාවක් ඔස්සේ සම්බන්ධ වූ ඉතා පුළුල් වැඩසටහනක් බවත්, එය සෑම අවස්ථාවකම සුවිශේෂී වූ විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් සිදුකරන අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ෂවත් ලෙස ඉතාම හොදින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණත් පවතින කොවිඩ් අවධානම් තත්ත්වය හමුවේ එය අවලංගු කර ඇති බවයි.
ඒ අනුව සාමාන්‍යයෙන් වෙසක් පුන් පොහෝ දිනට පෙරදා සිදුකරන රාජ්‍ය වෙසක් උත්සවය සහ එය ක්‍රියාත්මක කරන විහාරස්ථානයේම සිදුකිරීමට අපේක්ෂා කළ වෙසක් පුන් පොහෝ දින වැඩසටහනද මෙම පවතින කොවිඩ් වාතාවරණය හමුවේ ක්‍රියාත්මක නොවන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
මේ අතර මෙවර අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සංකේතවත් වෙසක් වැඩසටහනක් කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබුණද පවතින තත්ත්වය හමුවේ එය ද අවලංගු කර ඇති බවත් නමුත් සමගාමී වැඩසටහන් ක්‍රියාත්මක වන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර ඒම සතිය තුළ ආගමානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය මගපෙන්වීම කිරීමට උපදෙස් ලැබී තිබුණද, මෙම අවස්ථාවේ මහජනතාව ඒක්රැස්වීම් වැළැක්වීමට අවැසි බැවින් එය ද ක්‍රියාත්මක නොවන බවයි.
මාධ්‍ය හමුවට එක්වෙමින් ද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු කපිල ගුණවර්ධන මහතා පැවසුවේ, රටේ පවතින අවදානම් තත්ත්වය හමුවේ උත්කර්ෂවත් ලෙස වෙසක් උත්සවය සැමරීමට නොහැකි වුවද සංවර්ධන කටයුතු සහ සමාජ සත්කාර දිගින් දිගටම කොටස් වශයෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.
මේ අතර මාධ්‍ය හමුවට එක්වෙමින් සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ලෝනදූවේ ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේ වදාළේ, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පොහොය දිනක පන්සලක සිදුවන දාන ශීල භාවනා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී සියලු වැඩසටහන් ජනතාවට සමීප කරගත හැකි බැවින් මෙවර වෙසක් දිනයට නිවෙස් වල සිට බෞද්ධ ජනතාවට ප්‍රතිපත්ති පූජාව මුල්කර ගනිමින් වෙසක් උත්සවය සැමරීමට කටයුතු කරන ලෙසයි.




