පසුගිය දා අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ දිලීර ආසාදිත කොරෝනා රෝගියාට ආසාදනය වී ඇත්තේ, ඉන්දියාවේ ව්‍යාප්ත වන කළු දිලීරය නොවන බව, සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය මැයි මස 04 වනදා අම්පාරේ පදිංචි වයස අවුරුදු 35ක් වයසැති දිලීර ආසාදිත කොරෝනා රෝගියා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 14 වනදා ජීවිතක්ෂයට පත් වූ අදාළ රෝගියාට වැළඳී තිබුණේ, වෙනත් දිලීර ආසාදනයක් බවට සිදු කරන ලද රුධිර සාම්පල පරීක්ෂාවේදී හෙළි වූ බව අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් විජේනායක මහතා සඳහන් කළේය.
විජේනායක මහතා පැවසුවේ, මෙම දිලීරය ආසාදනය වූ පිරිස් මීට පෙරත් මෙරටින් වාර්තා වී ඇති බවත් ඒ අනුව කිසිදු හේතුවක් මත මෙය ඉන්දියාවෙන් පැමිණි දිලීර රෝගයක් ලෙස කිසි විටක වාර්තා නොවන බවයි.
”මේ දිලීරය අපගේ රෝහලේ වුණත් වසරකට තුන්දෙනෙකුට හතරදෙනෙකුට ආසාදනය වෙලා එනවා .එහිදී අපි ප්‍රථිකාර කරනවා. ඒ නිසා අපි කිසිම හේතුවක් නිසා මේක ඉන්දියාවෙන් පැමිණි දිලීර රෝගයක් කියලා කිසි විටකවත් වාර්තා වෙන්නේ නෑ . මේක ලංකාවේ මේ වන විටත් බොහෝ රෝගීන්ට මේ තත්ත්වේ තියෙනවා ”
රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට කොරෝනා ආසාදිතයින් ලෙස එම රෝහලෙන් හඳුනා ගන්නා වෙනත් කිසිදු රෝගියෙකුට මෙවැනි දිලීර ආසාදනයක් වාර්තා වී නොමැති බවය.
මේ අතර මෙම කොරෝනා රෝගයත් සඳඟ පැමිණි දිලීර රෝගය පිළිබඳ පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, එම පරික්ෂණ වල අවසන් ප්‍රතිඵල අද (24) දිනය තුළ දී ප්‍රකාශයට පත්කිරිමට අපේක්ෂා කරන බවයි.