මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර මෙට්‍රො සැහැල්ලු දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දුම්රිය අනතුරකින් 200 කට වැඩි මගීන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ එක් මෙට්‍රො දුම්රියක මගීන් 213 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනෙක් දුම්රිය මගීන් රහිතව ධාවනය වූ හිස් දුම්රියක් බවයි.
නඩත්තු කටයුත්තකින් පසු හිස් දුම්රිය, මගීන් රැගත් දුම්රිය ධාවනය වූ මාර්ගයේ ම ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ උමං මාර්ගයක් තුළදී එලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ.
අනතුරින් දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් 213 දෙනාම තුවාල ලබා ඇති අතර ඉන් 47 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

ක්වාලාලම්පූර් අගනුවර දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී මොහොමඩ් සයිනාල් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරන්නේ, දුම්රිය පාලක මැදිරියෙන් සිදු වූ වැරදි සන්නිවේදනයක් නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බවට සක පළ කරන බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව මොහොමඩ් සයිනාල් වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර එරට ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වසර 23 ක් වූ මෙට්‍රෝ පද්ධතියේ සිදුවූ විශාලතම අනතුර මෙය බවත් තමන් මෙම අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන බවත්ය.




