‘යාස්’ හෙට ඉන්දියාවට කඩා වදී – දිස්ත්‍රික්ක කිහිපයකට වැසි..

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

තව ද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40 – 50 වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එබැවින් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවලින් වැළකි සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවට දැනුම් දෙනු ලබයි.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පැවති අධික වර්ෂාවත් සමග ජල මට්ටම් ඉහළ ගිය අත්තනගළු ඔය, කළු, නිල්වලා, කැලණි සහ ගිං ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහළ යමින් ඇති බවයි.

කෙසේ වෙතත්, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට නිකුත් කළ නායයෑම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉදිරි දින කිහිපයේ ‘යාස්’ සුළි කුණාටුව මගින් දිවයින සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි ඇති කරන බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *