Headlines

    X-Press Pearl නැව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වන ලකුණු? – දික්ඕවිට සිට හලාවත දක්ව මුහුදු තීරයේ ආරක්ෂක වැඩ පිළිවෙළක්..

    පසුගිය 20 වන දා සිට මෙරට මුහුදේ ගිනිබත් වන X-Press Pearl නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ, නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හමුවේ එවැනි අනතුරක් සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවයි.

    මේ අතර වත්තල සිට මාරවිල දක්වා වෙරළ තීරය ආශ්‍රිත ජල සාම්පල එක්රැස් කිරීම ආරම්භ කර ඇතැයි නාරා ආයතනය සඳහන් කරයි.

    ඒ, ගිනි ගනිමින් ඇති X-Press Pearl නෞකාවෙන් මුහුදට එක් වූ ද්‍රව්‍ය හේතුවෙන් පරිසරයට හානියක් සිදු වී ඇත් ද යන්න අධ්‍යයනය කිරීම සඳහා එලෙස ජල සාම්පල් එක්රැස් කළ බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා පැවසුවේය.

    තව ද දික්ඕවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන ප‍රිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේ ය.

    නාවික හමුදාව සඳහන් කළේ, වැල්ලවත්ත සිට පානදුර දක්වා වෙරළ තීරයෙහි ද එම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

    ඒ අනුව ගිනි ගනිමින් ඇති එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී ඇති වෙරළට පාවී එන ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙස නාවික හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *