Headlines

    X-PRESS PEARL නැවේ ගින්න නිවා දමයි – නැව සිසිල් කිරීම තවදුරටත්..

    X-PRESS PEARL නෞකාවේ ගින්න නිවා දමා ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේය.

    එම අධිකාරිය පැවසුවේ, නෞකාව සිසිල් කිරිමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි.

    නැව සම්බන්ධ ඉදිරි කටයුතු තීරණය කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කණ්ඩායම නැව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ.

    ඔහු ප්‍රකාශ කළේ, නැවේ ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර විටින් විට ගිනි දළු මතුවන බවයි.

    මේ අතර X-PRESS PEARL නෞකාවේ ගින්නෙන් සාගර පරිසර පද්ධතියට සිදු වූ හානි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාත්‍යන්තර නීති උපදේශකයන්ගේ සහය ලබා ගැනීමට අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට මෙරට නීතිඥවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, අදාළ නෞකාවේ සිදුවන රාසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් පිළිසකර කර දෙන්නැයි මීට පෙර වරායන් දෙකකින් ඉල්ලීම් කළ ද ඒවා ප්‍රතික්ෂේප වී ඇති බවයි.

    තව ද මෙරට වෙරළ කලාපයට සිදුව ඇති හානිය පිළිබඳව කණ්ඩායම් 05 ක් විමර්ශන ආරම්භ කර ඇති බව ද එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ඒ අනුව නාරා ආයතනයේ මූලිකත්වයෙන් සිදු කරන එම විමර්ශන කණ්ඩායම්වලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නිලධාරීන් ඇතුළත් බව වාර්තා වේ.

    මේ මොහොත වන විටත් නෞකාවෙන් මුහුදට වැටුණු සුන්බුන් මීගමුව ඇතුළු වෙරළ කලාපවලට තවදුරටත් ගොඩගැසෙමින් ඇති අතර ඒවා ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *