අද (01) දින සිට ලුණු කුඩු මිල අඩු කර තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව අඩු කළ මිල ගණන්වලට දිවයින පුරා පිහිටි සතොස වෙළඳසැල් හරහා ලුණු කුඩු පැකට් ලබාගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එහි දී රුපියල් 60 ට අලෙවි කළ ලුණු කුඩු පැකට් එකක නව මිල වන්නේ රුපියල් 34ක් වන අතර රුපියල් 50 ක මිලකට අලෙවි කරනු ලැබු ලුණු කුඩු පැකැට් එකක් රුපියල් 35 ක මිලකට අලෙවි කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය දිනය කිහිපයේ මෙරට මුහුදු සීමාවේ දී රාසායනික ද්‍රව්‍ය සහිත නෞකාවක් අනතුරට ලක්වීම හේතුවෙන් විෂ ද්‍රව්‍ය මුහුදට එක්වී ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් එල්ල විය හැකි බවට වන විශ්වාසය මත බොහෝ පිරිස් ලුණු මිලදී ගැනීමට පෙළඹීමෙන් ගැටලුකාරි තත්ත්වයක් මතුව තිබේ.
එවන් පසුබිමක ඇතැම් වෙළෙඳුන් ලුණු තොඟ සඟවා ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත් ලංකා ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදබරණ මහතා ප්‍රකාශ කළේ, මුහුදු ජලයට විෂ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වුවද ලුණු නිෂ්පාදනයට එය බාධාවක් නොවන බවයි.