Headlines

    ගෙවුණු දිනයේ වැඩිම වර්ෂාපතනය අල්ගමින් – ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්..

    ගෙවුණු දිනයේ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ, අල්ගම ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි අගය මි.මී. 188 ක් වන බවයි.

    ඊයේ (04) දින ගලිගමුව ප්‍රදේශයට මිලිමීටර් 132 ක් සහ පස්යාල දන්සල්වත්ත ප්‍රදේශයට මි.මී. 130 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය.

    මේ අතර දිවයිනට බලපා ඇති නිරිත දිග මෝසම් කාළගුණය හේතුවෙන් අත්තනගලු ඔය, කළු ගඟ ද්‍රෝණිය හා කැලණි ගඟ ද්‍රෝණියේ දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළ සුළු වශයෙන් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඒ හේතුවෙන් පහත් බිම්වල සිටින ජනතාවට විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙනු ලබයි.

    මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 04 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.

    ඒ මහතා සදහන් කළේ, කිරිඇල්ල ප්‍රදේශයේදී ජල ගැලීමකට හසුවීමෙන් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.

    මේ අතර පවතින වැසි තත්ත්වය අදින් පසු ප්‍රමාණාත්මකව අඩුවන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

    එම දෙපාර්තමේන්තුව පැවසුවේ,  අද (05) දිනයේ ද බස්නාහිර හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි.

    කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 06 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑමේ නිවේදනය තවදුරත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *