ලෝක පරිසර දිනය අදට(05) යෙදී තිබේ.
මෙවර එහි තේමාව වන්නේ, ‘අපේ පරිසර පද්ධතිය සුරකිමු’ යන්නයි.
ඒ අනුව පරිසරය යනු මානව වර්ගයාගේ අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධකයයි.
ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී 1972 වර්ෂයේ පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින “ජගත් පරිසර දිනය ” ප්‍රකාශයට පත් කළේ ය.
සමක ආසන්න දුපතක් වන ඉහළ ජෛව විවිධත්වයෙන් යුතු මෙරට මේ වනවිට මුහුණදී ඇති අභියෝග රැසක් මෙවර පරිසර දින තේමාව හා බැඳී පැවතීම සුවිශේෂි සිද්ධියක් වන අතර ‘පරිසර පද්ධති සුරකිමු’ යන අර්ථයෙන් ගත් කළ මේ වනවිට මෙරට කඩොලාන පරිසර පද්ධතිය තෙත් බිම් පරිසර පද්ධතිය මෙන්ම වනාන්තර පරිසර පද්ධතියත් දැඩි බලපෑමට ලක් වී ඇති බව පසුගිය කාලය පුරාවට දිවයිනේ නන් දෙසින් වාර්තා වූ සිද්ධින්වලින් පැහැදිලි විය.
ඊට ආසන්නතම උදාහරණය මේ වනවිටත් හානි සිදු වෙමින් පවතින දිවයිනට අයත් සාගර පරිසර පද්ධතිය යයි…
කෙසේ නමුත් මෙරට පරිසර පද්ධති සුරැකීම සඳහා කෙතරම් නීති සම්පාදනය වුවද ඒවා ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණය නිසි පරිදි ඉටු නොවන්නේ නම්, පරිසරයේ සාමාජිකයෙකු වූ අප, පරිසරයට සිදු කරන අහිතකර මැදිහත්වීම් නතර කර පරිසර සුරැකීමට කාලය මෙය නොවේ ද ?




