දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද(07) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 50ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් ය.
මේ අතර ගෙවුණු දින කිහිපයේ ලැබුණු වර්ෂාවත් සමග කැලණි, කළු ගංගා මෙන්ම අත්තනගලු ඔයේ හටගත් ගංවතුර මට්ටම ක්‍රමයෙන් පහව යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පී.සී. සූගිෂ්වර මහතා සඳහන් කළේ, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බවයි.
අධික වැසි සමග ඇති වූ ආපදා තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
මේ අතර ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88 කට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති අතර පවුල් 67,564 ක පුද්ගලයින් 270,912 දෙනෙකුට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වන විටත් පුද්ගලයින් 26,846 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.




