හැරි – මේගන් යුවළ සිය දෙවන දරුවාගේ උපත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දෙවන එළිසබත් මහ රැජිණ ඇතුළු රජ පවුලේ සාමාජිකයින් බෙහෙවින් සතුටට පත් වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය සිකුරාදා (04) කැලිෆෝනියාවේ සැන්ටා බාබරාහි රෝහලකදී මේගන් කුමරිය සිය දෙවන දරුවා ලෙස බිළිඳියක ප්‍රසූත කර ඇති අතර හැරි - මේගන් යුවළ අලුත උපන් බිළිඳියට නම් තබා ඇත්තේ, ලිලිබෙට් ඩයනා මවුන්බැටන් – වින්ඩ්සර් ලෙසයි.
ඒ අනුව සිය දියණියට නම් තැබීමේදී හැරි – මේගන් යුවළ මහ රැජිණගේ කුඩා කල සුරතල් නාමය වන ‘ලිලීබෙට්’ සහ හැරී කුමරුගේ මවගේ නම වන ‘ඩයනා’ නාමය ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
එහි දී බිළිඳියගේ උපත පිළිබඳ පුවත ඇසීමෙන් පසු මහරැජිණ, චාල්ස් කුමරු , කැමිලා කුමරිය මෙන්ම විලියම් සහ කේට් යුවළ ද ඉමහත් සේ සතුටට පත් වූ බව බකිංහැම් මාළිගය උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර චාල්ස් කුමරු, විලියම් – කේට් යවුළ ද අලුත උපන් බිළිඳියට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කර ඇති අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ලිලී කුමරියගේ උපත වෙනුවෙන් හැරි – මේගන් යුවළට සුබ පැතුම් එක් කර තිබේ.
අලුත උපන් ලිලී කුමරිය එලිසබත් මහරැජිණගේ මී මුණුබුරු ,මිණිබිරි ලැයිස්තුවේ 11 වැන්නිය මෙන්ම රජ කිරුළට හිමිකම් කියන 8 වැන්නිය ද වනු ඇත.

කෙසේ වෙතත් මෙම වසරේ මාර්තු මාසයේදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හැරී – මේගන් යුවළ රජ පවුල සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ලොව පුරා කතාබහට ලක් වුණි.





