දිවයින අවට වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීම හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී අවධානයෙන් පසු වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් ලබයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි පැය 24 තුළ තවදුරටත් අඩු පීඩන කලාපය එම ප්‍රදේශයේ වර්ධනය වී බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි.
ඒ අනුව ඉදිරි කාලය තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මීගමුව සිට පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යාමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර දිවයිනේ සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ පළාතෙත් වැසි වාර කිහිපයක් ඇති බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී 30 – 40 වන අතර විටින් විට පැ.කි.මී 50 දක්වා වැඩි විය හැකි බවත්ය.




