2020/12/20 දිවයින ඉරිදා ලිපිය
පීඩිත ජනතාවකට සංවර්ධනය යන වචනය පවා මිහිරිය. එවැනි විටෙක කූඨ පාලකයන් තම හිතැඟි ඉටුකර ගැනීමට තොරොම්බල් කරන ලාභම වචනය බවට පත්වන්නේද සංවර්ධනයයි. කලකදී නම් එය දේශපේ‍්‍රමී විය. නමුත් දැන් එය සංවර්ධනය වී ඇත. පීඩිතයන් ගොනාට ඇන්ඳු මේ ඇන්දවිල්ලට හසුවන අලූත්ම ඉලක්කය වී ඇත්තේ ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට සංවර්ධනයේ නාමයෙන් අත තැබීමය. ඒ සඳහා මේ ජාවාරම් කාර පාලකයන් පිඹුරුපත් සකසමින් සිටින්නේ මනම්පිටියේ සිට යක්කුරේ දක්වා පැවති පැරණි මාර්ගය යළි සංවර්ධනය කිරීම වටිනා ජනතා අවශ්‍යතාවක් යන තිරනාටකය ඔස්සේය. බැළු බැල්මට මහා සුජාත භාවයකින් උපදින මේ අරමුණ ඇතුලාන්තය දැනගැනීමට එහි පසුබිමට එබී බැලිය යුතුය.යක්කුරේ ගම්මානයේ සිට පැවති පැරණී මාර්ගය පිහිටා තිබෙන්නේ වර්තමාන ජල ගැලූම් නිම්න ජාතික වනොද්‍යානය මැදින්ය. මනම්පිටියේ සිට යක්කුරේ දක්වා මහවැලි ගංඟ ඔස්සේ එම මාර්ගය වැටී තිබු අතර එවකට එම ප‍්‍රදේශය කිසිදු රක්ෂිත ප‍්‍රදේශයකට අයත් නොවීය. නමුත් කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය නිසා වියලි කලාපයට අයත් භූමියේද ජනජීවිතයේද බොහෝ වෙනස්කම් සිදුවිය. රක්ෂිත නොවූවද කැළැ බද ප‍්‍රදේශ ජනතා පරිභෝජනය වෙනුවෙන් හෙලි පෙහෙලි වී සංවර්ධනය විය. 1984 වසරේදී ජලගැලූම් නිම්න වනෝද්‍යානය නමින් නව රක්ෂිතයක් ප‍්‍රකාශ වන්නේ එම විනාශව ගිය පරිසරය වෙනත් අයුරකින් ඇතිකිරීමේ විකල්පයක් වශයෙනි. එයින් සිදුවූයේ මනම්පිටියේ සිට යක්කුරේ දක්වා පැවති පැරණි මාර්ගය භාවිතයෙන් ඉවත් වී එය ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් ප‍්‍රකාශිත භූමියට එකතු විමය.යක්කුරේ ගමට මාර්ගයක් නැතිදජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානය ප‍්‍රකාශ වීමත් සමග පැරණි යක්කුරේ මාර්ගය හා බැඳි යක්කුරේ ගම්මානයේ පිහිටීමද වෙනස් විය. නව රක්ෂිතයට ඉඩම් පවරා ගැනීම සිදුවූයේ රක්ෂිතය තුළ සිටි ජනතාවට ඉන් පිටත විකල්ප ඉඩම් ලබාදීමෙනි. මේ නිසා පැරණි යක්කුරේ ගමද ක‍්‍රමයෙන් ජල ගැලූම් නිම්න වනෝද්‍යානයෙන් පිටතට විතැන් වූ අතර මෙම නව වාස භූමි වල ජීවත්වන යක්කුරේ ගම්වැසියන් දෛනික කටයුතු වෙනුවෙන් නව මාර්ගයක් සංවර්ධනය විය. ඒ මනම්පිටිය , දිඹුලාගල, කළුකැලේ හා බදනාගල හරහා යක්කුරේ දක්වා දිවෙන කාපට් ඇතිරූ පුළුල් මාර්ගයකි. යක්කුරේ ජනතාවට පොළොන්නරුවට ළගාවීමමේ අවශයතාවකදී කිසිදු අවහිරයකින් තොරව එම මාර්ගය ඔස්සේ ඔවුන්ට පොළොන්නරුව දක්වා ගමන් කළ හැකිය. එහෙත් මේ මාරගය ඔස්සේ පොළොන්නරුවට ළගා විමට කිලෝමීටර් 50 දුරක් ගෙවිය යුතු නිසා හදිස්සි රෝගියෙකු රෝහලකට ගෙනයාමට පැරණි යක්කුරේ මාර්ගය යළි සංවර්ධනය කිරිම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා තිබිණ. ජල ගැලූම් නිම්න වනෝද්‍යානය මැදින් පැරණි යක්කුරේ පාර නැතත ඇතිකිරීමේ දැඩි ඔනෑකමකින් පසුවන ඔහු එය ඉදිරිපත් කරන්නේ මෙවැනි සංවේදී මාතෘකාවක් මතිනි.දරුවකේ ලැබෙන්න ඉන්න ගමේ අම්මා කෙනෙක් ගේන්න කිලෝමිටර් 60 යන්න ඕන අධ්‍යක්ෂක තුමා. නමුත් මේ මාර්ගයෙන් තියෙන්නෙ කලෝමීටර් 10 යි.අමාත්‍යවරයාගේ මේ ප‍්‍රකාශය නිළධාරීන් සහ ජනතාව ගොනාට ඇන්දවීමකි. පැරණි යක්කුරේ පාර යළි සංවර්ධනය කළද මනම්පිටියට පැමිණෙන ගම්වැසියෙක් පොළොන්නරුව දක්වා ගමන් කල යුතු සමස්ථ දුර කිලෝමීටර් 25 කට වඩා වැඩි වේ. වර්තමානයේ පවතින මාර්ගයට වඩා යෝජිත මාර්ගය කෙටි වුවද රෝහලකට ළගා වීම යන කාරණය පෙරදැරිව යක්කුරේ ගම්වැසියන්ට නව මාර්ගයක් ඉදිකිරීමේ කසිඳු අවශ්‍යතාවක් නොවේ. ඔවුන්ට රෝහලකට ළගා වීමට අවශ්‍යනම් මහියංගනය මාර්ගය ඔස්සේ දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඉතා පහසුවෙන් පැමිණිමේ හැකියාව තිබේ. එම මාර්ගයේ දෙහිඅත්තකණ්ඬියට පැමිණීමට ඔවුන් ගෙවිය යුත්තේ කිලෝමීටර් 20 ක තරම් දුරකි. යක්කුරේ ගම්වැසියන්ට අවශ්‍ය දෛනික අවශ්‍යතාවල සිට බැංකු කටයුතු දක්වා ඕනෑම අවශ්‍යතාවක් ඉටුකර ගැනීමේ පහසුකම් දෙහිඅත්තකණ්ඬිය නගරයේ තිබේ. නමුත් එම මාර්ගය මේ රටේ මාර්ගයක් නොවන ගානට අමතකරන දේශපාලකයන් ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයටම ඉව අල්ලමින් ඇත.ජලගැලූම් නිම්නය සුරැුකීමේ සංවිධානයේ සභාපති ටී. තීපන් චෝදනා කරන්නේ නින්දෙන් අවදි වූවා සේ හදිස්සියේම පරණ යක්කුරේ මාර්ගය යළි තැනීමට උස්සහ කිරීම පිිටුපස ඇත්තේ දේශපාලකයන්ගේ වෙනත් අරමුණු බවය. එම මාර්ගය තැනීමෙන් දේශපාලකයන් රට හමුවේ තබන අපේක්ෂිත අරමුණ ඉටු නොවන බව සෘජුවම ඔහු චෝදනා කරන්නේය.ඇමතිතුමා කියනවා මිනිස්සුන්ට සර්පයෝ දෂ්ඨ කරනවා, ඒ වගේ අවස්ථාවකදිඉක්මනින් රෝහලකට එන්න බැරි නිසා මිනිස්සු මැරෙනව කියල. හැබැයි එතුමලාම කියල තියනවා පාර හැදුවත් හවස හයෙන් පස්සෙ මේ පාර වහනවලූ. ඉතින් හයෙන් පස්සෙ පාර වහනවනම් ?ට සිර්පයෙක් කෑවම රෝගීයාව ගේන්න බැරි පාරක් මොකටද හදන්නෙ. ඒ හදිස්සි වෙලාවටත් මිනිස්සුන්ට යන්න තියෙන්නෙ කිලෝමීටර් විස්සක් විසි දෙකක ආසන්නව තියෙන දෙහිඅත්තකණ්ඬිය රෝහලට. අනික 2005 වසර වෙනකන් ඔය පාර භාවිතා කරා කියන්නෙ බොරුවක්. මේ සැරසෙන්නේ මහවැලි ගංඟ දිගේ උඩහට තියෙන මැණික් සහ වැලි නිධි ටිකට අත තියන්න ජලගැලූම් නිම්න උද්‍යානය ඇතුලට යා හැකි ක‍්‍රමයක් හදාගන්න. දැන් මේ දේශපාලකයන් මේ මිනිස්සු ගැන ඔච්චර කැක්කුමක් තියනවනම් කරන්න ඕන අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙන එකනෙ. එයාගේ විෂය භාර ඒකනේ. අගල් කපන අලි වැට ගහන විෂයභාර ඇමති පොළොන්නරුවේ ආවට මෙහෙට ඇවිත් මේ තාක් කපපු අගලකුත් නෑ. ගහපු අලි වැටකුත් නෑ. එහෙම ගහන්න යෝජනා කරපු තැනකුත් නෑ. ඒ වෙනුවට එතුමත් කරන්නෙ රොෂාන් ඇමතිතුමාට ජලගැලූම් නිම්නයට ප‍්‍රවේශ වෙන්න පාර හදන්න කතා කරන එක. මේ කාටවත් ජලගැලූම් නිම්නයේ වැදගත්කම නොතේරෙන එකනේ පුදුමේ.ජල ගැලූම් නිම්න උද්‍යානයේ වැදගත්කමජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානය මෙරට වියලි කලාපයට ඇති එකම තෙත් බිම් සහිත වනෝද්‍යානය වන්නේය. විල්ලූ සහිත පරිසර පද්ධතියක් හිමි එය මහවැලි ගංඟාවේ පිටාර ජලයෙන් පෝෂණය වන්නේය.
1984 වසරේ අගෝසතු 07 අංක 309රැු4 දරන ගැසට් පත‍්‍රය මගින් මේ සුවිශේෂි පරිසර පද්ධතිය ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට සංවේදී කාරණා කිහිපයක් බළපෑවේය. ශ‍්‍රී ලංකාවේ දිගම ගංඟාව වන මහවැලියේ පිටාර තැන්න ආරක්ෂා කිරීම එහි එක් අරමුණක්ව ඇති අතර කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමයෙන් වාසස්ථාන අහිමි වූ අලි ඇතුන් ඇතුළු වන ජීවීන්ට ජීවත්වීමේ පරිසරයක් ඇති කිරීම එහි තවත් අරමුණක් විය. හෙක්ටයාර 17350 භූ වපසරියක් වසා පවතින මේ වනෝද්‍යානය ශ‍්‍රී ලංකවේ ජීවත්වන වන අලින්ගෙන් සියයට 30 ක් තම වාසභූමි කරගෙන සිටින්නේය. ඒ අතර මෙරටදී දැකිය හැකි ශරීර ප‍්‍රමාණයෙන් විශාල විල් අලි විශේෂය ජීවත්වන්නේද ජල ගැලූම් නිම්න වනෝද්‍යානයේය. එසේම ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානයට දකුණින් වස්ගමුව ජාතික උද්‍යානයද උතුරින් සෝමාවතියද පිහිටා තිබීම හේතුවෙන් මෙම උද්‍යානය දෙකඩ නොකිරීම ඉතා වැදගත්ය. සෝමාවතියත් වස්ගොමුවත් අතර වන අලින්ගේ ගමන් මාර්ගය පිහිටා ඇත්තේ මෙහිය. නමුත් යෝජිත මාර්ගය ඉදිකිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබෙන්නේ වස්ගොමුව ජාතික උද්‍යානයේ සිට සෝමාවතිය දක්වා වන අලි ගමන් කරන මේ ප‍්‍රදේදෙකඩ කරමින්ය. අලි මිනිස් ගැටුම තවදුරටත් උග‍්‍ර කරන මේ සංවර්ධන ක‍්‍රියාවලියේ අනාතගත හානිය සුළු පටු නැත. ශ‍්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප‍්‍රකාශ් එය පැහැදිලි කරන්නේ මෙසේය.ජල ගැලූම් නිම්න ජාතික උද්යානයේ පැවැත්මට තර්ජන එල්ලවුණේ අද ඊයේ නෙවෙයි. පසුගිය රජයේ අමනෝඥ වනජීවී සංරක්ෂණ නියෝජ්ය අමාත්යවරයෙක් ජල ගැලූම් නිම්න ජාතික උද්යානයට අයත් ඉඩම් වී වගාව සඳහා විවිධ පුද්ගලයින්ට ලබාදීමට උත්සාහ කළා. එක් කාලයකදි ජාතික උද්යානය වැලි ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයටද දැඩිව නැතුව තිබුණේ වනජීවී නිලධාරීන් පවා කාර්යාල අඩස්සියට පත්කරමින්. මැතකදි උද්යානයේ අඩමන්කාඩුව සහ ආච්චිවිල ප‍්‍රදේශවල වසර දහස් ගණනක් පැරණි කුඹුක් ගස් විශාල සංඛ්යාවකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබෙන හැටි අපි දැක්කා. නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස් කරමින් අනවසර ඉඩම් අත්පත්කරගැනීම් වලට වැට බඳිමින් සහ අධිකරණ නියෝග මගින් අනවසර වගාකරුවන් ජාතික උද්යානයෙන් ඉවත් කරමින් ජලගැලූම් නිම්න ජාතික උද්යානයේ වනජීවී පරිපාලනය ප‍්‍රතිස්ථාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් සිදුකරමින් ඉන්නවා. එවැනි පසුබිමක් තුළ තමයි මේ සියලූ සංරක්ෂණ ප‍්‍රයත්නයන් නිෂ්ඵල කරමින් ජාතික උද්යානය හරහා මහා මාර්ගයක් සංවර්ධනය කිරීමට හොරගල් අහුලන්නෙ. ස්වභාවික පරිසර පද්ධතියක් හරහා මාර්ගයක් ඉදිකිරීමේ සිට එය භාවිතය සඳහා යොදාගනු ලබන සම්පුර්ණ කාලසීමාව තුළම එමගින් අදාළ පරිසර පද්ධතියට විවිධ සංකීර්ණ පරිසර විද්‍යාත්මක බලපෑම් එල්ලවන බව ලොව පුරාම සිදුකර ඇති පර්යේෂණ වලින් ඔප්පුවෙලා තියනවා.. වනජීවීන් රිය අනතරු වලට ලක්ව මියයාම, වනජීවී වාසස්ථාන ඛණ්ඩනය වීම, වනජීවී ගහන ඛණ්ඩනය වීම, ආගන්තුක ආක්රමණශීලී ජීවී විශේෂ ව්යාප්තිය, අනවසර මිනිස් ක‍්‍රියාකාරකම් ඉහළ යාම, ජලවහන ප‍්‍රශ්න ඇතිවීම ඉන් සමහරක්. මහවැලි ගඟ, මනම්පිටිය විල්ලූව, හඳපාන් විල්ලූව සහ බඳියා විල්ලූව ඔස්සේ වැටී ඇති මෙම යෝජිත මාර්ගය සංවර්ධනය කර පොදු ජනතාවගේ පරිහරණයට නිදහස් කිරීමෙන් යක්කුරේ දක්වා ගමන් කරන පුද්ගලයින්ට පහසුවක් වෙන්න පුළුවන්. නමුත් ඊට සමගාමීව මා සඳහන් කළ සියලූම බලපෑම් වලින් ජලගැලූම් නිම්න ජාතික උද්යානයේ පැවැත්මට බරපතල බලපෑම් සිදුවීමට එය හේතුවෙනවා. නමුත් වසරකට අඩු තරමින් මාස හතරක්වත් මෙම මාර්ගය මහවැලි ග සහ හඳපාන් විල්ලූවෙන් පිටාර ගලන ජලයෙන් යටවෙනවා. ඒ කාලසීමාවේදී මේ පාර ජනතාවගේ භාවිතයට ගන්නත් බෑ. අනික බඳියා විල්ලූව හා හුංගමාල ඔය හරහා මාදුරුඔය ජාතික උද්යානයට අලි ඇතුන් ගමන් කරන සංක්රමණය මාර්ගය වැටෙන්නෙ ඔය ප‍්‍රදේශයෙන්. ඉතින් මෙම මාර්ගයේ නිතර අලි ඇතුන් ගැවසෙන නිසා මාර්ගයේ ගමන්කරන පුද්ගලයින් වන අලි පහරදීම් වලට ලක්වීමේ අවධානමත් වැඩියි. ඉතින් ඇස් පනා පිටම මේ විනාශය පේන්න තිබෙද්දී සංවර්ධනය ඉදිරයට දාගෙන කරන්න හදන්නෙ වෙන දෙයක්. දේශපාලකයින්ට ඕන වෙලා තියෙන්නෙ ජනතාවට සහන සළසනවට වඩා මහවැලි ගෙඟ් ඉහළට තවදුරටත් වැලි ජාවාරම ව්‍යාප්ත කරන්නයි ජාතික උද්යානයේ දැව සම්පත කොල්ළකන්නයි.
යෝජිත මාර්ගය ඉදිකිරීම පිටුපස ඇත්තේ කිඹුල් කඳුළු හෙළන දේශපාලකයන්ගේ එවැනි කූඨ අරමුණු බව පරිසර සංවිධාන සෘජුවම චෝදනා කරති. වනෝද්‍යානය සුරකින බාරකරුවන් වන වන ජීවී නිළධාරීන්ද මේ මාර්ගය ඉදිකරීම ගැන විරෝධය පළකර තිබේ. සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති ශානක සඳරුවන් මහතා මෙම මාර්ගය ඉදිකරීමට ඇති නීතිමය හැකියාව ගැන අවධාරණය කරන්නේ මෙවැන්නකි.වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත බළාත්මක පරිසරයකට අනවසරයෙන් ඇතුල්වීමත් වැරදියි. එවැනි රක්ෂිත උද්‍යානයක මාර්ග හෝ අඩි පාරවල් තැනීම තහනම්. 1984 දී ජල ගැලූම් නිම්න උද්‍යානය ප‍්‍රකාශයට පත් කරාට පස්සෙ පරණ යක්කුරේ ගම්මානයේ හිටිය ජනතාවට ඉඩම් ලැබීමෙන් උද්‍යානයෙන් එළියට යනවා. ඒත් එත්කම පැරණි යක්කුරේ මනම්පිටිය පාර උද්‍යාන සීමාවට ගැනෙනවා. එදා ඉඳල මේ පාර වසර 36 ක් ජනතාව භාවිතා කරන්නෙ නෑ. එ වගේම අපේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතේ පැහැදිලිව තියනවා එවැනි මාර්ගයක් ආසන්න වශයෙන් වසර දෙකක් භාවිතා නොවුණානම් එය ඉබේම අහෝසි වනවා කියා. ඒ නිසා නීත්‍යානුකූලව මේ පාර අහෝසි වෙලා ඉවරයි. දැන් ඒ සීමාව ජාතික උද්‍යානයටයි අයිතිය තියෙන්නෙ. වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක පනත රැුකීමට දිවුරුම් දී තිබෙන රාජ්‍ය රාජ්‍ය නිළධාරියෙකු ලෙස ඔහු එහි නීත්‍යනුකූල පසුබිම පැහැදිලි කරන්නේ එසේය. රාජ්‍ය නිළධාරින් දිවි හිමියෙන් මේ ජාතික උද්‍යානය සුරැුකීමට වෙහෙසෙන විට ඊට උඩින් සිට තීරණ ගන්නා දේශපාලකයන් අර අදින්නේ ජනතාවට සංවර්ධනය නැමැති කැරට් අලය පෙන්වා ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානයට අත තැබීමටය. යක්කරේ පැරණි පාර සංවර්ධනය කිරීමේ යථාරථය තුළ සැගව ඇත්තේ එයයි.
තිස්ස ගුණතිලක
ඇත්තටම මේ නොදන්න පැතිවල මිනිස්සුන්ට මවාපාන්න හදන තරම් ප්‍රශ්නයක් අපිට ආයෙ පාර ඇරලා දුන්න කියලා වෙන්නෙ නෑ කියලා අපේ ගම් ටිකේ මිනිස්සු හොදට දන්නවා. ඔය නගරවලට ලග හැම පහසුකමක්ම තියාගෙන ජීවත්වෙන මිනිස්සුන්ට ඉතින් අපේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න තේරෙන්නෙ නෑනෙ. අර දවස්වල LTTE ප්‍රශ්න තිබුනෙ නැත්නම් අදවෙනකොට මේ එක ප්‍රශ්නයක්වත් නෑ. අපූරුවට අපේ මිනිස්සුත් පාරෙ යනවා එනවා සත්තුත් ජීවත් වෙනවා අනිත් හැම කැලයක් මැදින්ම තියන පාරවල්වල වගේ. ඔය පාරෙ 1992 විතර වෙනකන් අපේ මිනිස්සු ආවා ගියා. ඊට පස්සෙ වෙච්ච සිදුවීම් කීපයක් නිසා අපේ මිනිස්සු මේ පාරෙන් යන්න තියෙන බයට ගියෙ නෑ. අපේ ග්‍රාමාරක්ෂක මහත්තුරුන්ට ඒ දවස්වල කොටි වෙඩි තියලා මැරුවා. ගගේ මාලු අල්ලන්න යන මිනිස්සුන්ව අරගෙන ගිහින් කප්පම් ගත්තා. දිඹුලාගල හාමුදුරුවොන්ට වෙඩි තියලා මරපු සිද්ධි නිසත් මිනිස්සු තව බය උනා ලග පාතම නිසා. අනිත් එක මේ පාර සොරිවිල කියලා දෙමළ ගමකට කිට්ටුවෙන් වැටිලා තියෙන්නෙ. ඒ නිසා මිනිස්සු ඉතින් කොහොමත් බයට යන එන එක අඩු උනා. ඔය විදිහට තමා පාර ඇතැරිලා ගියේ. ඊට පස්සෙ යුද්ධෙ ඉවර වෙන්න ලංවෙනකොට වගේ කාලෙ ඉදන් මිනිස්සු ආයෙ පාර ඇරගන්න හැදුවා. එක පාරක් 2007දි විතර මිනිස්සු ගිහින් පාර ආයෙ එළි කරලා ගන්න හැදුවත් ඒකට ඉඩ දුන්නෙ නෑ. දැන් යුද්ධෙ ඉවර වෙලා අවුරුදු දහයකට වැඩි උනත් තාමත් අපේ පාරට විතරයි ඇරලා දෙන්න බැරි උනේ. පාර ඇරලා දෙනවා කියලා අපේ මිනිස්සුන්ගෙන් ඡන්දෙ ගත්ත මැති ඇමති කෙනෙක් පොළොන්නරුවෙ නෑ. මේ වගේ වනෝද්‍යානයක් මැද්දෙන් තියෙන පාරක් අනුයාත අවුරුදු දෙකක් පාවිච්චි කරේ නැත්නම් අයිතිය නැති වෙනවලු. අපේ මිනිස්සුන්ට මැරෙන්න හරි බලාගෙන පාර පාවිච්චි කරන්නද කියන්නෙ ඒ දවස්වල. ඇත්තටම ඒ දවස්වල මිනිස්සු වෙඩි කන්න හරි බලාගෙන පාර පාවිච්චි කරානම් ඔය නගරවලට ලග හැම පහසුකමක්ම තියාගෙන ජීවත්වෙන විද්වත්තුන්ගෙන් එක ප්‍රශ්නයක්වත් අද නෑ. මේවට ඉතින් කියන්න තියෙන්නෙ ගැටලුව තමන්ගෙ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි කියන එක තමා.
oba kamatinam meka api article ekak wage dannam