බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ඉන්දියාව ඉන් නිදහස් වූ පසු බිහි වූ ඉන්දියාවේ පළමු සුපිරි ක්‍රීඩා තරුව ලෙසින් හැඳින්වෙන මිල්කා සිං කොවිඩ් -19 ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.
මැයි මාසයේ දී කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා 91 හැවිරිදි මිල්කා චන්දිගාර්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිදී පසුගිය 18 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මුළු මහත් ඉන්දියාව පුරාම ”පියාඹන සීක්වරයා” යන අන්වර්ථ නාමයෙන් ජනාදරයට පත් මිල්කා ජාත්‍යන්තර තරගාවලි රැසකදී ඉන්දීය ධජය ඉහළින්ම ඔසවා තැබූ මළල ක්‍රීඩකයෙක් බව කවුරුත් දන්නා රහසකි.
නිදහස් ඉන්දියාවේ පළමු ලෝක ශූරයා ලෙස ඉන්දීය ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට මිල්කා සමත් වූ අතර හිටපු ඉන්දීය වොලිබෝල් නායිකාවක වූ ඔහුගේ බිරිඳ නිර්මාල් කෞර් ද පසුගිය දා කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වුණී.
2013 වසරේදී බොලිවුඩ් සිනමා නිර්මාණයක් ද මිල්කාගේ ජීවිත කතාව පාදක කොට නිර්මාණය වුණි.
ඒ, Bhaag Milkha Bhaag බොලිවුඩ් චිත්‍රපටයයි.

1958 වසරේදී ඉන්දියාව වෙනුවෙන් පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම ද දිනා දුන් මිල්කා ආසියානු රන් පදක්කම් 4 ක් ජයග්‍රහණය කර ඇති අතර ක්‍රීඩා දිවිය තුළ අන්තර් ජාතික රන් පදක්කම් 5 ක් හා ආසියානු මට්ටමේ පදක්කම් රැසක් ඉන්දීයාව වෙනුවෙන් දිනා දුනි.
මිල්කා ක්‍රීඩාව වෙනුවෙන් ලබා දුන් දායකත්වය සැලකිල්ලට ගනිමින්, පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.
තවද සුපිරි ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන ඔහුගේ පුතු ජීව් මිල්කා සිං ද පද්ම ශ්‍රී ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබීම විශේෂත්වයකි.

කෙසේ නමුත් මිල්කාගේ ජීවන ගමන එතරම් සුන්දර එකක් නොවුනු අතර එවකට ඉන්දියාවේ ම කොටසක් වූ වත්මන් පකිස්ථානයේ මුල්තාන් පළාතේ කුඩා ගම්මානයක උපත ලැබූ මිල්කාගේ කුඩා කාලය අතිශය අඳුරු වූ අතර පසුව ඔහු ඉන්දියාවට පැමිණෙන්නේ අනාථ වූ දරුවෙකු ලෙසය.
ඒ අනුව 1947 වසරේදී ආනාථ දරුවෙකු ලෙස ඉන්දියාවට පැමිණි මිල්කා මුල් කාලයේ ජීවිත් වීම සඳහා විවිධාකාරයේ රැකියා සිදු කර ඇති අතර පසුව සුළු සුළු අපරාධවලට සම්බන්ධ වී ඇති බවත් පසුව ඉන්දීය හමුදාවට එක්වන මිල්කා සිය ක්‍රීඩා කුසලතා ඔප් නංවා ගැනීමට එහිදී අවස්ථාව හිමි කර ගත් හ.





