Headlines

    නිරෝධායන රෙගුලාසි සංශෝධනය කෙරේ..

    විදේස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළ නිරෝධායන රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධනයට ලක් කර ඇත.

    එළඹෙන ජුලි මස 01 වැනි දා සිට ජුලි මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති මෙම රෙගුලාසි විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, වෙළෙඳ නාවිකයින්ට, නාවික ආරක්ෂකයින්ට, ද්විත්ව පුරවැසියන්ට, සංචාරකයින්ට සහ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශිකයින්ට අදාළ වන ලෙස නිකුත් කර ඇත.

    මේ අනුව විදෙස්ගතව පැමිණෙන එන්නත්කරණය සම්පූර්ණ නොකරන ලද ශ්‍රී ලාංකයින් හා ද්විත්ව පුරවැසියන් සියලු දෙනා පළමු දින පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට හෝ මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරෙනු ඇති අතර දින 11ත් 14ත් අතර කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු නොවන්නේ නම් දින 14 අවසානයේදී ඔවුන් අදාළ මධ්‍යස්ථානවලින් මුදා හැරෙනු ඇත.

    කෙසේ වෙතත් ඔහු හෝ ඇය කොව්ඩ් ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් අතර මැදි රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කරයි.

    තව ද පූර්ණ ලෙස එන්නත්කරණය අවසන් කළ ලාංකිකයින් හා ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණෙන පළමු දිනයේදී පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇති අතර එහිදී ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ අධීක්ෂණය යටතේ අනිවාර්ය නිවෙස් නිරෝධායනය වෙත යොමු කෙරනු ලබයි.

    එම නිරෝධාය ක්‍රියාවලිය අවසන් වූ පසු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් නිවෙස් නිරෝධායනයෙන් මුදා හැරිනු ලබන බව එම රෙගුලාසි වල දැක්වේ.

    මීට අමතරව මෙරට අනුමත රාජ්‍ය තාන්ත්‍රික විදෙස් කාර්යය මණ්ඩල සාමාජිකයින් හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයින් මෙරටට පැමිණීමේදී පළමු දින පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුමත කරන ලද නිරෝධායන නිවෙස්නයකට හෝ හෝටලයකට යොමු කෙරෙන අතර ඔවුන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 11 ත් 14 ත් අතර කාලය තුළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණය පැවැත්වෙන අතර ඉන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් මුදා හැරීමට නියමිත බව සඳහන් වේ.

    තව ද එන්තත්කරණ තත්ත්වය සලකා බැලීමෙන් තොරව මෙරටට පැමිණෙන සියලු විදේශිකයින් පළමු දින පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට යොමු කෙරෙන අතර එහි ප්‍රතිඵලය අනුව ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යොමු කෙරෙනු ලබයි.

    කෙසේ වෙතත් ඔහු හෝ ඇය ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 11ත් 14ත් අතර දෙවන පී.සී.ආර්. පරීක්ෂණයකට ද ඔවුන් යොමු කරන අතර ඉන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරීමට නියමිත බව සඳහන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *