‘දේශීය පැණියක්’ නිෂ්පාදනය කළ බව කියන ධම්මික බණ්ඩාර මහතාට, එම පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට පූජා කිරීම සඳහා අවසර නොදීමෙන් ඇති වූ නොසන්සුන් සහ තර්ජනාත්මක හැසිරීම දැක්වෙන වීඩියෝව..

කොරෝනා රෝගය සාර්ථකව මර්දනය කිරීම සඳහා ‘දේශීය පැණියක්’ නිෂ්පාදනය කළ බව කියන ධම්මික බණ්ඩාර මහතාට, එම පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට පූජා කිරීම සඳහා අවසර නොදීමෙන් ඇති වූ නොසන්සුන් සහ තර්ජනාත්මක හැසිරීම දැක්වෙන වීඩියෝවක් බොහෝදෙනෙකුගේ අවධානයට යොමුව තිබේ. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කරන ලද්දේ අනුරාධපුර යුගයේ දෙවනපෑතිස් රජ දවස ය. එතැන් පටන් වර්තමානය දක්වා විවිධාකාරයේ ස්වභාවික ආපදා මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජන රැසකට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක් වූ අන්දම පිළිබඳ වංසකථාවල මෙන්ම පසුකාලීන මූලාශ්‍රය තුළ සවිස්තරාත්මක තොරතුරු අන්තර්ගත වේ. ඇතැම් අවස්ථාවලදී දිවි පරදුවට තබමින් භික්ෂූන් වහන්සේලා මෙන්ම බෞද්ධ ජනතාව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ අන්දම පිළිබඳ නිදසුන් එමට ය. එකී සියලු තර්ජන ජයගනිමින් වර්තමානය වන විට ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුරක්ෂිත උඩමළුවේ වැඩසිටින්නේ මෑතභාගයේදී එහි චිරජීවනය පිණිස ගෙන තිබෙන පියවර රැසක් හේතුවෙනි. 2007 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළ ‘ජය සිරි මහ බෝ සිරිත’ නම් ශාස්ත්‍රීය සංග්‍රහයට ‘ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ චිරජීවනය’ යන මැයෙන් ලිපියක් සපයන හිටපු උද්භිද උද්‍යාන අධිකාරී, උද්භිද විද්‍යාඥ Bhathiya Sumithraarachchi මහතා මෑතභාගයේදී ශ්‍රී මහා බෝධියේ චිරජීවනයට බාධා පැමිණ වූ ස්වභාවික ආපදා කිහිපයක් ජයගත් අන්දම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කරයි. ඉන් පළමුවැන්න නම් දැනට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිරිව ඇති ප්‍රධාන ශාඛාව ඇතුළත දිරාගොස් විශාල කුහරයක් ඇතිවීමයි. වර්ෂ 1963දී කොන්ක්‍රීට් සහ යකඩ කම්බි යොදා එම ශාඛාව අභ්‍යන්තරයෙන් ශක්තිමත් කරන්නේ ඊට විසඳුමක් වශයෙනි. පසුව 1994 වර්ෂයේ ඇති වූ සුළිසුළඟකින් එම ශාඛාවට හානිවීමත් සමග ශාඛාව රඳවා තබාගැනීම සඳහා තොටිල්ලක් වැනි ආධාරකයක් සහිත කුළුණක් නැවත ඉදිකරනු ලැබ තිබේ.1980 දශකය වන විට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපිත උඩමළුව 80%කින් පමණ වැලිවලින් සමන්විත වීම, පරිවාර බෝධීන් වහන්සේලාගේ මුල් ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙසට ආක්‍රමණය වී ශ්‍රී මහා බෝධීන් වහන්සේට ලැබෙන පොහොර අවශෝෂණය කරගනිමින් පැවතීම උද්භිද විද්‍යාඥයන් මුහුණදුන් බරපතල අභියෝග දෙකකි. මෙවැනි සිදුවීම් පෞරාණික වෘක්ෂයක් වන ශ්‍රී මහා බෝධියේ පැවැත්මට කෙතරම් තර්ජනයක් ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

ඊට විසඳුම් වශයෙන් උඩමළුවේ ඇති පස් ක්‍රමයෙන් සෝදා ඉවත් කරමින් අලුත් පස් එකතු කිරීමටත්, පරිවාර බෝධීන් වහන්සේලාගේ ආක්‍රමණික මුල් ක්‍රමානුකූලව ඉවත්කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා කොන්ක්‍රීට් බිත්තියක් ඉදිකිරීමත් සාර්ථකව සිදු කළ අන්දම සුමිත්‍රාරච්චි මහතා ඡායාරූප සහිතව විස්තර කරයි. එහිදී සුදුසු පස් වර්ග තෝරාගැනීම, ඒවා ජීවානුහරණය කරමින් පස් සාම්පල පරීක්ෂා කිරීම, උඩමළුවේ පැරණි පස් ඉවත් කිරීම ආදී කටයුතු ඉතා සූක්ෂම අන්දමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක් නොවන අන්දමට සිදු කළ ආකාරය විශ්මයජනක ය. පසුව උද්භිද විද්‍යාඥයන් විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින උඩමළුවේ උඳුපියලිය, අස්වැන්න වැනි කුඩා පැළෑටි වර්ග රෝපණය කිරීමට කටයුතු කර ඇත්තේ ද වැලි රත්වීමෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කිරි මුල් විනාශවීම වැළැක්වීමට සහ නයිට්‍රජන් වැනි දෑ ශ්‍රී මහා බෝධීන් වහන්සේට පහසුවෙන් අවශෝෂණය කරගැනීමේ අපේක්ෂාවෙනි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ රසායන ද්‍රව්‍ය සෘජුව පතිත වීම වැළැක්වීම, පරිවාර බෝධීන් වහන්සේලාගේ කඳ සහ පත්‍ර කොටස් ජීවානුහරණය කිරීම ආදී පියවර අනුගමනය කරන බව සුමිත්‍රාරච්චි මහතා අවසාන වශයෙන් තම ලිපියේ සඳහන් කරයි. මෙවැනි අතිශය දුෂ්කර පියවර රැසක් අනුගමනය කරමින් වර්තමානය දක්වා සුරක්ෂිත වැඩසිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට හිටිහැටියේ සාදික්කා, මී පැණි සහ හෙළි නොකරන ඖෂධ කිහිපයකින් සකස් කළ ‘පැණියක්’ වත් කිරීමට සූදානම් වීම කෙතරම් අමනෝඥ කටයුත්තක් ද ? එවන් අකටයුත්තක් සිදුවීම වැළැක්වූ අටමස්ථානාධිපති පල්ලේගම ශ්‍රී සුමන සිරිනිවාස නාහිමියන්ට ලංකාවාසී ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවය හිමිවිය යුත්තේ එහෙයිනි. අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ දෙරණ ටීවී ආයතනයේ මාධ්‍ය භාවිතය පිළිබඳවයි. ඊයේ දින (2020.12.16) දෙරණ ටීවී රාත්‍රී 7.00 ප්‍රධාන පුවත් විකාශයේදී ධම්මික බණ්ඩාර මහතා අටමස්ථානාධිපති නාහිමියන් හමුවේ නොසන්සුන්කාරී සහ තර්ජනාත්මක අන්දමින් හැසිරීම ඉවත්කොට පුවත ඉදිරිපත් කිරීම මගින් , ඔවුන් කියනා අන්දමට ‘ලංකාවේ විශ්වසනීයම සහ අංක 01 පුවත් විකාශය දෙරණ ටීවී පුවත් විකාශය’දැයි සිතා බැලීම ලංකාවේ බුද්ධිමත් ජනතාවට භාර ය.පළමුවන රූපසටහන ‘ජය සිරි මහ බෝ සිරිත’ කෘතියේ 135වන පිටුවෙන් උපුටාගෙන තිබේ.

අටමස්ථානාධිපති නාහිමියන් හමුවේ ධම්මික බණ්ඩාර මහතාගේ නොසන්සුන්කාරී සහ තර්ජනාත්මක හැසිරීමhttps://www.facebook.com/NewsfirstSL/videos/3705355596192348/

රුවන්මැලිසෑයේ පේසා වළලු මතට නැඟසිටින ධම්මික බණ්ඩාර මහතා පේසා වළල්ල මතට කොරෝනා පැණිය වත් කරන අන්දම (වීඩියෝවේ 0.35 සිට)https://m.facebook.com/story.php?story_fbid=673202096696284&id=160105774672588

Hasitha Chamikara Gunasinghe
Lecturer at Department of History – University of Kelaniya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *