එංගලන්තයේ රෝස කුසුම යළි ජීවමාන වෙයි..

 එංගලන්තයේ රෝස කුසුම ලෙස නම්ලත් ලොව පුරා මිලියන ගණනාවක ජනතා සිත් එක බැල්මකින් වසඟ කළ, ඩයනා කුමරියගේ පිළිරුවක් පසුගියදා ලන්ඩන් නුවර කෙන්සින්ටන් මන්දිරයේ ( Kensington Palace ) සන්කෙන් උද්‍යානයේදී විවෘත කෙරිණ.

ඒ , ඩයනා කුමරියගේ 60 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙනි.

මෙම කෙන්සින්ටන් මන්දිර ( Kensington Palace ) සන්කෙන් උද්‍යානයේ ඩයනා කුමරියගේ ප්‍රියතම මල් 4,000 ක් පමණ රෝපණය කර තිබෙන බව සඳහන්ය.

රාජකීයත්වය අත්හැර සාමාන්‍ය ජීවිතය අගය කළ ජනතාවගේ කුමරිය වූ ඩයනා 1997 දී ප්‍රංශයේ පැරිස් නුවර උමං මඟක සිදුවූ රිය අනතුරකින් මිය ගිය අතර මිය යන විට ඇගේ වයස අවුරුදු 36කි.

මෙම පිළිරුව ඩයනා කුමරිය සහ ඇය වටා සිටින දරුවන් තිදෙනෙකුගෙන් තිබූ අතර , කෙන්සිංටන් මාළිගය (Kensington Palace) පැවසුවේ, ඩයනා කුමරියගේ අලංකාරය සහ ශක්තිය පිළිබිඹු කිරීම මෙම ප්‍රතිමාවේ අරමුණ බවය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, නව ප්‍රතිමාව විවෘත කිරීමට විලියම් සහ හැරී කුමරු ද එක්ව සිටි බවයි.

ඩයනා කුමරියට උපහාර දැක්වීම සඳහා විලියම් සහ හැරී කුමරුන් නැවත එක්වීම ඔවුන් අතර ඇති භේදය සුව කිරීමේ වැදගත් මෙන්ම පළමු පියවරක් විය හැකි බව රාජකීය විචාරකයින් පවසයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට ප්‍රථම විලියම් සහ හැරී කුමරුන් අවසන් වරට එකට මුණගැසුණේ දෙවන එලිසබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *