නිකවැරටිය, පොල්ගහවෙල, මහව සහ ආණමඩුව යන රජයේ වී ගබඩාවලින් 2022 වසරේ යල සහ මහ කන්නයට අදාළ වී කිලෝ ලක්ෂ 30ක් පමණ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතීඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ඊයේ (09) ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර අතුරුදන් වී ඇති වී තොගයේ වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න බවය.
“වී අලෙවි මණ්ඩලයේ වී තොග අතුරුදන් වීම ගැන පරීක්ෂණයක් මීට මාස 4කට පමණ පෙර සිට ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව ගබඩා 4ක බිලියනයකට ආසන්න මුදලක වටිනාකමින් යුත් වී අඩුවීම සම්බන්ධයෙන් ගබඩා 4ක වෙන් වෙන් වශයෙන් පරීක්ෂණයක් සිදුකර එහි මුලික වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙනවා. ඒ අනුව ඔවුනුත් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර අවසන් අදියර දක්වා පැමිණ තිබෙනවා. අපි විශ්වාස කරනවා අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින පරීක්ෂණවල අවසන් අදියරට එන්න පුළුවන්. මේවා මහජනතාවගේ මුදල්. පරීක්ෂණ කඩිනම් කර, අදාළ වරදකරුවන්ගෙන් එම මුදල් වී අලෙවි මණ්ඩලය වෙත පියවා ගැනීමට කටයුතු සිදුකරමින් පවතිනවා.”
මේ අතර පසුගිය සෙනසුරාදා සිට ලබන 17 වන දින දක්වා වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම් තාවකාලිකව නවතා ඇති අතර 11 වනදා වන විට මිලදී ගත් වී සදහා ගොවීන්ට මුදල් ලබා දී අවසන් කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතීඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසා සිටියේ.