Headlines

    RMS Titanic නෞකාව මුහුදු බත් වී අදට වසර 112 ක් සැපිරේ..

    අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර නිපදවූ ටයිටැනික් නෞකාව, වයිට් ස්ටාර් සමාගම සතුවූ ඔලිම්පික් ශ්‍රේණියේ නෞකා තුනෙන් දෙවෙනි නෞකාව විය. අනෙක් නෞකා දෙක වූයේ RMS Olympic සහ RMS Britannic ය.( මුලින්ම නම් කෙරුණේ Gigantic ලෙසය ). මෙය සමාගම සතුවූ නෞකා 29 කින් විශාලම නෞකා ත්‍රිත්වය වූහ. මෙම නැවු ත්‍රිත්වයෙහි මූලාරම්භය 1907 මැදදී වයිට් ස්ටාර් සමාගමේ සභාපති වූ J. Bruce Ismay හා වයිට් ස්ටාර් සමාගමේ මව් සමාගම වූ International Mercantile Marine Co. සමාගම පාලනය කළ අමෙරිකානු මූල්‍ය සම්පාදකයෙකු වූ J. Pierpont Morgan හා ඇතිවූ සාකච්ඡාවක ප්‍රතිඵලයකි. එකල වයිට් ස්ටාර් සමාගම, සිය ප්‍රධානම ප්‍රතිවාදී තරඟ කරුවකු වූ, ඒ වන විට ලොව වේගවත්ම මඟී නෞකාවන් ලෙස සැලකූ Lusitania හා Mauretania යන නෞකාවන් දියත් කොට තිබූ Cunard සමාගම ඉදිරියේ හා ජර්මානු නැව් සමාගම් වූ Hamburg America හා Norddeutscher Lloyd ඉදිරියේ අභියෝගයට ලක්වෙමින් සිටියහ. එම තරඟයට මුහුණදීම සඳහා White Star සමාගමේ සභාපති වූ J. Bruce Ismay විසින් යෝජනා කළ වේගවත් බව වෙනුවට විශාලත්වය සහ අධි සුඛෝපභෝගීත්වය සහිත නැව් පන්තියක ප්‍රතිඵලය මෙම නෞකා ත්‍රිත්වය වේ.

    නැව ඉදිකරන ලද්දේ 1867 තරම් ඈත කාලයක සිට වයිට් ස්ටාර් සමාගම හා සුහදව කටයුතු කළ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හී Harland and Wolff සමාගම වේ. Harland and Wolff සමාගම නැව් සැලසුම් කිරීම පිළිබඳව විශේෂඥ සේවයක් White Star Line සමාගම වෙත සැපයුවේය. සමාගම් දෙක එක්ව නැවක් සැලසුම් කෙරීමේදී පිරිවය සාධකය කෙරෙහි අඩුම සැලකිල්ලක් දැක්වූ අතර Harland and Wolff සමාගමට අවැසි කටයුතු සඳහා මුදල් වැයකිරීමේ නිදහස තිබූ අතර පසුව සියයට පහක ලාභාංශ තීරුවක් එකතු කිරීමටද එකඟතාවයක් විය. ඔලිම්පික් පංතියේ නැව් තැනීමේදී, ප්‍රථම නැව් දෙක සඳහා බ්‍රිතාන්‍යය පවුම් මිලියන තුනක් වියදම් වූ බවට ගණන් බලා ඇත.

    Harland and Wolff සමාගම ඔලිම්පික් පංතියේ නෞකා සැලසුම් කිරීමේදී සිය ප්‍රමුඛම සැලසුම කරුවන් ඒ සඳහා යෙදවූහ. Harland and Wolff හා White Star Line යන සමාගම් ද්විත්වයේම අධ්‍යක්ෂක වරයෙකු වූ Lord Pirrie, Harland and Wolff හී සැලසුම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂක Thomas Andrews, ඔහුගේ සහයක ලෙස සහ සැලසුම් ගණනය කිරීම් සහ නැවේ ස්ථායීතාවය ( Stability & trim ) සම්බන්ධයෙන් කටයුතු කළ Edward Wilding සහ නැව් තටාකාංගණයේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන සැලසුම් කරු වූ Alexander Carlisle ගේ මූලිකත්වයෙන් එය අධීක්ෂණය වූහ. කාර්යක්ෂම ජීවිතාරක්ෂක බෝට්ටු දියත් කිරීමේ ක්‍රමවේදයක් සැලසීම Alexander Carlisle ගේ කාර්යයක් විය.

    1908 ජූලි 29 වන දින Harland and Wolff සමාගම සිය සැලසුම White Star Line හී සභාපති J. Bruce Ismay සහ අනෙකුත් විධායක ශ්‍රේණියේ නිලධාරීනට පිළිගැන්වීය. Ismay වෙතින් සැලැස්ම අනුමත් වීමෙන් පසුව එකඟතා ගිවිසුම අත්සන් කළ අතර එයින් දින දෙකකට පසුව ඉඳිකිරීම් ඇරබීමට එකඟ වූහ. මෙම මොහොතේදී මුලින්ම ඉඳිකළ නැවට නමක් නොවූ අතර එය Harland and Wolff හී 400 වන ඉඳිකිරීම වූ බැවින් ” අංක 400 ” විය. එයට පසුව ඉදිකළ ටයිටැනික් නෞකාව ” අංක 401 ” විය.

    ටයිටැනික් නෞකාව දිගින් අඩි 882 අගල් 9 කින්ද ( මීටර 269.06 ), පළලින් අඩි 92 යි අඟල් 6 ( මීටර 28.19 ) කි. උස, නැව් පතුලේ සිට පාලන මැදිරියේ ( Bridge ) ඉහළම ස්ථානයට අඩි 104 ( මීටර 32 ) කි. නැවෙහි දළ ලියාපදිංචි පරිමාව ( GRT – Gross Registered tonnage ) ටොන් 46328 කි. ඉපිලුම් ගැඹුර ( Draught ) අඩි 34 අඟල් 7 ( මීටර 10.24 ) කි. නැවෙහි මුළු බර ටොන් 52310 කි.

    ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි. එයට අමතරව ඇය සතුව මගීන්ගේ පහසුව සඳහා සහ මෙහෙයුම් කටයුතු සඳහා අවැසි බලගතු ටෙලිග්‍රාෆ් පණිවිඩ සන්නිවේදන හැකියාවද වූවාය. නවීන තාක්ෂණයෙන් හෙබි ජල පරිරෝධක කාමර සහ දුරස්ථව ක්‍රියා කළ හැකි ජල පරිරෝධක දොරවල් වැනි ආරක්ෂක ක්‍රියාමාර්ග තිබුණද, නෞකාව එය මත සිටින සියලු දෙනාටම ඇවැසි තරම් ජීවිතාරක්ෂක බෝට්ටු වලින් සමන්විත නොව්වාය. නැව මත ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ පුද්ගලයන් 1178 දෙනෙකුට පමණී. එය නැව මත සිටි මගීන් සහ කාර්යය මණ්ඩලයේ එකතුවෙන් තුනෙන් එකකට පමණක් සෑහිනි.

    1912 අප්‍රේල් 10 වන දින, එංගලන්තයේ සදම්ටන් වරායෙන් නික්මුණු නෞකාව, ගමනාන්තය වූ නිව්යෝක් වෙත ගමන් ඇරබීමට ප්‍රථම, ප්‍රංශයේ චේබර්ග් සහ අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් යන වරායන් වෙතද වාර්තා කළාය. ඉන් පසු නිව්යෝක් බලා යන ගමනේදී, 1912 අප්‍රේල් 14 වන දින රාත්‍රී 11:40 ට, නැව අයිස් පරයක ගැටුනේ ගමනාන්තයට සේන්දු වීමට දින හතරක් තිබියදීය. එවිට නැව නිව්පවුන්ඩ්ලන්තයට සැතපුම් 375 ක් දකුණට වන්නට විය. ආනතිකව සිදුවූ ඝට්ටනය නැවෙහි දකුණුපසෙහි බඳ කිහිප පලකින්ම ඇතුළට තෙරපූ අතර, ජල ප්‍රතිරෝධක කුටීර දහසයෙන් පහක්ම මුහුදට නිරාවරණය වූහ.ඊළඟ හෝරා දෙකහාමාර ඇතුළත ජලයෙන් පිරුණ නැව සයුරේ ගිලී ගියාය. මගීන් සහ කාර්යය මණඩලය ජීවිතාරාක්ෂක බෝට්ටු මගින් දිවි ගලවා ගැනීම ඇරබූ අතර බොහොමයක් ජීවිතාරක්ෂක බෝට්ටු අඩක් පිරුණු විට දියත් කරන ලදී. බෝට්ටු වලට පැටවීමේදී ” කාන්තාවන් සහ ළමුන් ” පළමුවෙන් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතු කොටගෙන සැළකිය යුතු පිරිමින් පිරිසක් ගිලෙමින් පවතින නැව උඩ ඉතිරි වූහ. අලුයම් 02:20 ට පමණ දෙකට කැඩීගිය නැවෙහි ඇණිය, දහසකට වැඩි පිරිසක් නැව මත සිටියදී පළමුවෙන් මුහුදේ ගිලී ගිය අතර මුදට වැටුණු පිරිස් අධික ශීතල කරනකොටගන මොහොතකින් මිය ගියහ. පැය කිහිපයකට පසුව ජීවිතාරක්ෂක බෝට්ටු වල සිටි 710 දෙනෙක් RMS Carpathia නැව විසින් බේරා ගන්නා ලදී.

    කාපතියා වෙත නැගී දිවි ගලවාගත් වයිට් ස්ටාර් ලයින් හී කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී ද වූ බෲස් ස්මයිල් මහතා එංගලන්තයේ වයිට් ස්ටාර් ලයින් මූලස්ථානය වෙත මාර්කෝනි යන්ත්‍රය හරහා පණිවිඩයක් තැබීය.

    එහි මෙසේ සටහන් විය,
    “හද ගිලෙන සංවේගයෙන් දැනුම් දෙමි. අද උදෑසන ටයිටැනික් අයිස් පර්වතයක හැපී විනාශයට පත් විය. බොහෝ ජීවිත ගණනක් නැති විය. පසුව සම්පූර්ණ විස්තරයක් එවන්නෙමි”

    ජගත් ප්‍රජාවම කම්පනයට පත්කළ මේ මහා ඛේදවාචකය, එයට මුල්වූ මෙහෙයුම් සහ පාලන ක්‍රියාදාමයන් හී වූ දුර්වලතා ගැන කතිකාවතක් ඇතිකිරීමට සමත් විය. ඒ පිළිබඳව බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව විසින් පවත්වන්නට යෙදුණු පරීක්ෂණ, නාවික ක්ෂේත්‍රයේ ප්‍රධානම ආරක්ෂක විධිවිධාන සැකසීමේහීලා මුල්විය. මෙයින් බිහිවූ එක් ප්‍රධානම ආයතනයක් නම්, අදටත් නාවික ආරක්ෂණය කෙරිහි බලපවත්වන්නාවූ, 1914 දී පිහිටුවනු ලැබූ, සයුරේදී ජීවිත ආරක්ෂාව පිළිබඳවූ ජාත්‍යන්තර සම්මුතියයි. { International Convention for the Safety of Life at Sea (SOLAS) }

    දිවි ගලවා ගත් අය සන්තකයෙහි වූ සියලු වස්තුව සහ මුදල් අහිමිව අනාථ භාවයට පත්ව සිටියහ. බොහොමයක් පවුල්, විශේෂයෙන්ම සදම්ටන් වලින් කාර්යය මණ්ඩලයට සම්බන්ධ වූවන්ගේ බොහොමයක් පවුල් වලට සිය බත සපයන්නන් අහිමිව ගියහ. ඔවුනට සමාජයේ සහ සහනාධාර වල පිහිට මිස අන් සරණක් නොවූහ.
    දිවිගලවා ගත් පිරිමින් විශේෂයෙන්ම වයිට් ස්ටාර් සමාගමේ සභාපති J. Bruce Ismay, කාන්තාවන් සහ ළමයින් නෞකාවේ ඉතිරව සිටියදී බියසුලු ලෙස නෞකාව හැර ඒම පිළිබඳව සමාජයේ ගැරහුමටද පාත්‍ර වූහ.

    1985 දී නැවතත් සොයාගන්නා තෙක් , අඩි 12415 ගැඹුරු මුහුදු පත්ලේ තැන්පත්වූ නැවෙහි නෂ්ටාවශේෂ අනුක්‍රමයෙන් කැඩීබිඳියමින් පැවතුන අතර 1985 සිට ගොඩ ගත් දහස් ගණනක් වූ කොටස් ලොව පුරා කෞතුකාගාර වල ප්‍රදර්ශණය වෙමින් පවතී.

    ටයිටැනික්, ඉතිහාසය පුරාවටම අතිශයින් ප්‍රසිද්දියට පත්වූ නැව් වලින් එකකි. ලොවපුරා ඒ පිළිබඳව නිකුත්වූ දහස් ගණනක් වූ පොත් පත්, චිත්‍රපට, ප්‍රදර්ශන, සමරු ඒ පිළිබඳ මතකය පවත්වාගෙන යාමට ඉවහල්වී ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *