Headlines

    ඇල්ල – වැල්ලවායේ කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානමක්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වී ඇති නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පුළුල් අධ්‍යයනය සිදුකරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

    දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, එම තත්ත්වය උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයට ජලය පිරවීමෙන් ඇතිවූවක් ද යන්න මෙතෙක් ජල හෝ භූ විද්‍යාත්මක පර්යේෂණයකින් තහවුරු වී නැති බවය.

    ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක මලිත්තගොල්ල නම් වූ බෑවුම් සහිත කොටසක් පසුගිය බ්‍රහස්පතින්දා සිට නායයෑම් තත්ත්වයක් සක්‍රීය වී තිබුණේ ප්‍රදේශවාසීන් තුළ කැලඹීමක් ඇති කරමිනි.

    කෙසේවෙතත් භූ ගෝලීය පිහිටීම අනුව ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශය පිහිටා ඇත්තේ උමාඔය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ඩයරඹා ජලාශයට කිලෝමීටර් 2.5ක් පමණ පහළින්ය.

    බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක උදය කුමාර මහතා පැවසුවේ, 2019 සිට එම ස්ථානයේ විටින් විට නායයාම් සක්‍රීය වෙමින් පවතින බවය. 

    එමෙන්ම පසුගිය වසරේ පැවති අධික වර්ෂාව හේතුවෙන් අක්කර 15ක පමණ කන්ද බිඳවැටීමක් හෙවත් පහළට තල්ලූවීමක් ද සිදුවී තිබුණි. 

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළේ, යළි නායයාම් අවදානම මතුවී ඇත්තේ, එම ස්ථානයේ අවිධිමත් භූමි පරිහරණ ස්වභාවය සහ එම ප්‍රදේශයේ මතුපිට හා අභ්‍යන්තර ජලවහන පද්ධතිය මත පදනම්වූ සාධක මත බවය. 

    කෙසේවෙතත්, සක්‍රිය වූ නාය අවදානම නොවෙනස්ව පැවතියහොත් ඊට පහළින් දිවෙන ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ද බලපෑම් එල්ලවිය හැකි බවට පුරෝකථනය කර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *