Headlines

    පොලීසියේ විනය ගැන නිර්දේශ පොලිස්පති අතට

    පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ.

    විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර කෙරුණි.

    විනය හා කල්ක්‍රියා හා නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් අදාළ කමිටුවට ඇතුළත්ය.

    කමිටුවේ නිර්දේශයන් කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *