බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු සංකීරණයක්, කෞතුකාගාරයක් සහ සංචාරක හෝටලයක් ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත අතර වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එම කටයුතු සිදුකෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක මහතා පවසයි.
ඒ අනුව මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව පෞද්ගලික ආයෝජකයෙකු තෝරාගෙන ඇති අතර ඊට අදාළ ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලිය ද මේ වනවිට සිදුවෙමින් පවතින බව අධ්‍යක්ෂකවරයා පෙන්වාදෙයි.
වසර 138 ක් ක්‍රියාත්මක වූ බෝගම්බර බන්ධනාගාරය 2014 ජනවාරි මස 01 වනදා සිට වසා දැමීමෙන් පසු එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරිශ්‍රයට රැගෙනයාම සිදුවිය.
බෝගම්බර බන්ධනාගාරය මේ වනවිට මහජන ප්‍රදර්ශනය සඳහා පමණක් විවෘත කර ඇති අතර 2014 වසරේ දී එය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබීය.