මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද (17) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.
ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.
එහිදී ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් සඳහන් කළේ සැකකරුගේ කටහඬ පරීක්ෂණය සිදුකර තිබුණ ද එම පරීක්ෂාව සිදුකරන යන්ත්‍රය කැඩී තිබීම නිසා ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවය.
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කටහඬ පරීක්ෂණය මීට වසරකට පමණ ඉහතදී සිදුකළ ද එහි වාර්තාව මෙතෙක් නොලැබීම තුළින් තම සේවාදායකයාට අසාධාරණයක් සිදුවන බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම කටහඬ පරීක්ෂණයට අදාළ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමට නියම කළේය.
2019 වසරේ පැවති එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුට ගත් සචිත්‍ර සේනානායක මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහැර සිටියි.