ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා හි කෝවිෂීල්ඩ් එන්නත හදිසි භාවිතය සඳහා ශ්‍රී ලංකාව සිකුරාදා (22) අනුමත කළේය. ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට(28) මෙරටට රැගෙන ඒමට නියමිතය.
ඉන්දියාව විසින් එන්නත් 500,000 ක් ශ්‍රී ලංකාවට යවන බව හා ඒවා හෙට(28) වනදා පැමිණෙන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පැවසීය.
එන්නත් රැගත් ගුවන් යානය හෙට (28) පෙරවරු 11.00ට පමණ මෙරටට ළඟා වීමට නියමිත බව කටුනායක ගුවන්තොටුපොළේ ඉන්දීය ගුවන් සමාගමේ කළමනාකරු සාරනාත් පීරිස් මහතා පැවසුවේය.
ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට (28) මෙරටට ගෙන ඒමත් සමග අනිද්දා(29) සිට එන්නත්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවත්, පළමුවෙන් එන්නත් ලබා දෙන ආසාදිතයින් සම්බන්ධ ඉදිරි පෙළ කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු පිරිස් සඳහා බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ඒ අනුව, සෞඛ්‍යය කාර්ය මණ්ඩලයේ 155,000ක් සඳහා සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ 127,000ක පිරිසක් සඳහා පළමු අදියරේ එන්නත්කරණය සිදු කෙරෙනු ඇති බව, ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරේය.
මීට අමතරව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත සඳහා ද රජය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඉල්ලා තිබේ. ඒ අනුව, ස්පුට්නික් 5 එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ලියාපදිංචි කිරීමට අදාළ ලියකියවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පසුගිය 08 වැනිදා රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව විසින් ඉදිරිපත් කර තිබුණි.