අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමෙන් සහ ත්‍රිවිධ හමුදා සහාය ඇතිව යළි ඉදිකර දීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඊයේ (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
චක්‍රලේඛ මත පදනම්ව නොසිට විපතට පත් ජනතාව සඳහා කඩිනමින් සහන සැලසීමට සහ විපතට පත් ජනතාවට ලබාදෙන ආධාර මුදල් වැඩි කිරීමට ද මෙහිදී යෝජනා වී තිබේ.
මේ අතර ජගත් පරිසර දින සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
හෙටට (05) යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ ජාතික සැමරුම් උත්සවය අවලංගු කිරීමට ද තීරණය කළ බව පළාත් සභා පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.
අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළේය.
“අයහපත් කාලගුණය නිසා අපට ගංවතුර තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙනවා. දැනට ජීවිත ගණනාවක් අහිමි වී තිබෙනවා. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් විනාශ වූ සියලු නිවාස යළි ඉදිකරදීම ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදුකිරීමට රජය භාරගෙන තිබෙනවා. අර්ධ හානි සිදු වූ ගොඩනැඟිලි පිළිබඳ වාර්තා ලැබීමෙන් පසුව ඊට අදාළ තීරණ ගැනීමට ද බලාපොරොත්තු වෙන බව සඳහන් කළ යුතුයි. මීට අදාළව හදිසි කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.”
“එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු සහන සැලසීමට දැනට තිබෙන මුදල් නිදහස් කරන ලෙස මා උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අවශ්‍ය සියලු ප්‍රතිපාදන පිළිබඳ අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.”
“2017 වසරේ ඇති වූ ආපදා තත්ත්වයට මුහුණදීම වෙනුවෙන් එදා රජය රුපියල් බිලියන 170ක් වැයකළා. පසුගිය වසරේ දිස්ත්‍රික් 13ක් ආපදා තත්ත්වයට පත් වුණා. මෙවර ඇතැම් පළාත්වල විශාල හානියක් සිදුව නැහැ. කෙසේ හෝ ආපදා හානි පියවීම වෙනුවෙන් අවශ්‍ය සියලු මුදල් මෙම වසරේත් ලබන වසරේදීත් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.”