Headlines

    අනපේක්ෂිත පසුබෑමක් හමුවේ ඉදිරියට ආ මෝදි

    ඉන්දීය මහ මැතිවරණය ජයගෙන තුන් වැනිවරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වීමට අගමැති නරේන්ද්‍ර මෝදි සමත්ව තිබේ.

    කෙසේ නමුත් ඔහුගේ සන්ධානයට මෙවර මැතිවරණයේදී අනපේක්ෂිත පසුබෑමකට මුහුණපෑමට සිදුව තිබීම විශේෂත්වයකි.

    දින 44ක් පුරා අදියර 7ක් යටතේ පැවැති ඉන්දීය මහා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ඊයේ නිකුත් වුණි.

    ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය අත්කර දෙමිනි.

    කෙසේ නමුත් පෙර මැතිවරණ දෙකට සාපේක්ෂව පක්ෂය මෙවර දැඩි පසුබෑමක් ලබා සිටින අතර, තනි පක්ෂයක් ලෙස දිනා ඇත්තේ ආසන 240ක් පමණයි.

    පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ එනම් ලෝක් සභාවේ බහුතරය තහවුරු කරගැනීමට එක් පක්ෂයක් අවම වශයෙන් ආසන 272ක් දිනාගත යුතු වන අතර ඊට භාරතීය ජනතා පක්ෂයේ සන්ධාන පක්ෂවල සහාය ලබාගැනීමට මෝදි ට සිදුව තිබේ.

    විපක්ෂයේ කිසිදු තනි පක්ෂයක් ආසන 100 ඉක්මවා ජයගෙන නැතත් මැතිවරණය සඳහා ඉදිරිපත් වූ විපක්ෂයේ ඉන්ඩියා සන්ධානය දැඩි තරගකාරිත්වයක් ලබාදී තිබීම විශේෂත්වයකි.

    ඉන්දියාවේ ජනාකීර්ණම ප්‍රාන්තය වන උත්තර් ප්‍රාන්තයේදී දැවැන්ත පරාජයන් රැසකට මුහුණපෑමට භාරතීය ජනතා පක්ෂයට සිදුවූයේ ඉන්ඩියා සන්ධානයේ පාර්ශ්වකරුවෙක් වූ සමාජ්වාදී පක්ෂය හමුවේය.

    මේ අතර පසුගිය වසරේ උත්තර් ප්‍රාන්තයේ අමෙති ආසනයේදී පරාජයට පත් කොංග්‍රස නායක රාහුල් ගාන්ධි මෙවර ඔහු ඉදිරිපත් වූ රායි බරේලි ආසන මෙන්ම කේරළයේ වයානන්ද් ආසනයද ජයගැනීමට සමත්ව තිබුණි.

    කෙසේ නමුත් මෙය ඉතිහාසගත ජයග්‍රහණයක් වන්නේ එය මෝදිගේ පක්ෂයද ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයගත් අඛණ්ඩ තෙවැනි මහා මැතිවරණය වීම හේතුවෙනි.

    දිල්ලි හි පිහිටි භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේ සිට ජාතිය ඇමතූ අගමැති නරේන්ද්‍ර මෝදි තම ජයග්‍රහණය තහවුරු කළේ ඊයේ රාත්‍රියේදී ය.

    කෙසේ නමුත් විපක්ෂය අවධාරණය කරන්නේ මෙය අගමැති මෝදි මෙතෙක් ලැබූ දරුණුතම පසුබෑම බවය.

    ඒ ආසන 400ක් ඉලක්ක කරගත් මෝදි ප්‍රමුඛ සන්ධානය ආසන 283කට සීමාවීම උපුටා දක්වමිනි.

    මේ අතර පසුගිය මැතිවරණයේදී අමෙති ආසනය නියෝජනය කරමින් රාහුල් ගාන්ධි පවා පරාජයට පත් කළ මෝදි රජයේ ප්‍රබල අමාත්‍යවරියකව සිටි ස්ම්‍රිතී ඉරානිට මෙවර මැතිවරණය ජයගැනීමට හැකිවූයේ නැහැ.

    කෙසේ නමුත් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනියක වන කන්ගනා රනාවුට් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වුණි.

    එමෙන්ම 25 හැවිරිදි තරගකාරියන් සිව්දෙනෙක් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ අතර ඔවුන් ඉතිහාසයට එක්වන්නේ එරටින් බිහිවූ ළාබාලතම මන්ත්‍රීවරියන් ලෙසය.

    මේ අතර බටහිර බෙංගාල ප්‍රාන්තය ජයගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් වන යුසූෆ් පතාන් සහ කිර්ති ආසාද් සමත්ව තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *