Headlines

    වසරේ ගතවූ මාස 6 තුළ මී උණ රෝගීන් 5,000ක්

    වසරේ ගතවූ මාස 6 තුළ පමණක් මී උණ රෝගීන් 5,000ක් මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසය.

    වෙල් උණ, පතල් උණ හෝ මඩ උණ ලෙසින් හැඳින්වෙන මී උණ රෝගය වෛද්‍ය විද්‍යාවට අනුව නම් කර ඇත්තේ ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) ලෙසිනි.

    මෙම රෝගයට හේතු වන බැක්ටීරියාව ප්‍රධාන වශයෙන්ම මීයන්ගේ මුත්‍රාවල අඩංගුවන අතර එය මේ වනවිට ගවයන්ගේ සුනඛයින් සහ ඌරන්ගේ මළ සහ මුත්‍රාවලද අන්තර්ගත බවට සොයාගෙන තිබේ.

    රෝගකාරක බැක්ටීරියාව සහිත අදාළ සත්වයන්ගේ මුත්‍රා ජලයට එක්වීමෙන් පසු එය මිනිස්  සිරුරට ඇතුළු වන්නේ පාදවල තිබෙන තුවාල මෙන්ම ඇස් හා මුඛයේ පවතින ශ්ලේෂ්මල පටල මඟිනි.

    මේ පිළිබඳ අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය පැවසුවේ මී උණ හේතුවෙන් වසර පුරාම මරණ 100ක් හෝ එවැනි ඉහළ සංඛ්‍යාවක් වාර්තා වන බවය.

    බොහෝ අවස්ථාවලදී ප්‍රතිකාරවලට යොමු නොවූ පිරිස මෙම රෝගී තත්ත්වයෙන් මියයන බව ද පැවසු වෛද්‍යවරිය මී උණට ඖෂධ ඇති බවත් නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝගය සුව කළ හැකි බවත් පැවසීය.

    කකුල් කැපී හෝ වෙනත් තුවාල ඇති පුද්ගලයින්ට මෙහි අවධානම වැඩි බව ද පැවසු වෛද්‍යවරිය දුෂිත ජලය මඟින් මුහුණ, මුඛය හෝ නාසය සේදීමෙන් ද බැක්ටීරියාව ශරීරගත විය හැකි බව සඳහන් කළාය.

    වී ගොවීන්, මැණික් පතල්කරුවන් මෙන්ම අපද්‍රව්‍ය සහ ඇළ මාර්ග සුද්ද පවිත්‍ර කිරීම් කරන සේවකයින්ට  වැළඳීමේ වැඩි අවදානමක් පවතින මී උණ, වැඩි වශයෙන් වාර්තා වන්නේ රත්නපුර, ගාල්ල, කෑගල්ල, මාතර, කළුතර, මොනරාගල, කුරුගණෑගල වැනි දිස්ත්‍රික්කවලිනි.

    රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් ප්‍රතිකාරවලට යොමුවන ලෙස රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, කෝලිත ජයසුන්දර මහතා පවසා සිටියේය.

    “තද උණක් එනවා නම්, ඇස් රතු වෙනවා නම්, බඩේ කැක්කුමක් එන්න පුළුවන්. කැස්ස එන්න පුළුවන්. ලප මතුවෙන්න පුළුවන්. ප්‍රධාන රෝග ලක්ෂණය තමා මස්පිඩුවල වේදනාව. කෙණ්ඩවල වේදනාව ඉතා අධිකයි. ඒ වගේ දේවල් එනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙන්න.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *