රනිල් – බැසිල් යළිත් සාකච්ඡාවක්

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් (26) ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැම්පත් කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් හෝ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයක් ලෙස සහාය ලබා දෙන්නේදැයි යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එකඟවී නොමැති අවස්ථාවක එම සාකච්ඡා පවත්වා තිබීම ද විශේෂත්වයකි.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ගොඩ නැගීමට නියමිත නව සන්ධානය පිළිබඳව මෙහිදී සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව සඳහන්ය.

ඒ අනුව අද (28) ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර යළිත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබේ.

ඊයේ (27) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වෙයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්ය.

පැයකට ආසන්න කාලයක් එම සාකච්ඡා පවත්වා ඇති අතර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සහ සාගල රත්නායක යන මහත්වරුන්  වත්මන් ජනාධිපතිවරයාට සහාය ලබාදෙන ලෙස දැඩිව ඉල්ලා තිබේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ එළඹෙන සඳුදා දිනයේ පැවැත්වෙන දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය දැනුම් දෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *