…අදුරාතීතයෙහි විසූ බෞද්ධාචාර්යයන් අතුරෙන් අතිශයෙන් ප්‍රකට කීර්තියක් ඇතිව සිටියේ මුන්වහන්සේ ය. ලක්දිව ප්‍රධාන බෞද්ධ විද්‍යාස්ථානය බවට පත් වූ විද්‍යොදය මහාවිද්‍යාලය පිහිටෙව් මුන්වහන්සේ එය පිහිටෙව් තැන් පටන් ජීවිතාවසානය දක්වා එහි වසමින් විද්‍යාදානය කළහ.
අගනුවර පිහිටි අග්‍රබෞද්ධවිද්‍යාලයේ ආධිපත්‍යය ඉසිළීමත්, පිටකත්‍රයෙහි නොපැකිළෙන බුද්ධි ප්‍රභාවයත්, ශාස්ත්‍රාන්තරයන්හි හා භාෂාන්තරයන්හි දක්ෂව විසීමත් මුන්වහන්සේගේ කීර්තිය මහත් සේ පැතිරයාමට හේතු වූහ. වර්තමානයෙහි ලක්දිව උගතුන් සේ ප්‍රකට වූ බොහෝ දෙනෙක් මුන්වහන්සේගේ පා සෙවනෙහි වැඩුනෝ ය.
ලක්දිව ධර්මශාස්ත්‍ර පිරිහී තිබුණ කාලයක, බෞද්ධ බලය හීන වී තිබුණ කාලයක, පොත්පත් සුලභ නොවූ කාලයක, ශාස්ත්‍ර ප්‍රදීපය දල්වා, බෞද්ධ බලය දියුණු කොට, බුද්ධශාසනය දියුණු කරනු කැමති වූ මුන්වහන්සේ බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමාගේ ද ආධාරය ඇතිව ඉගනීමට උවමනා පොත් ශුද්ධ කොට පළකරවීමාදියෙන් කළා වූ මෙහෙය ලාංකික බෞද්ධයන් විසින් පහසුවෙන් මතක නැති කළ හැක්කක් නොවේ….
අදට යෙදෙන බෝධිසත්ව ගුණෝපේත කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පරිවෙණාධිපති සහ ශ්‍රීපාදස්ථානාධිපති, උපාධ්‍යාය ධුරන්ධර ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන දකුණ බටහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේගේ 113 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.
උන්වහන්සේ පිළිබඳ ඉහත සටහන උපුටාගත්තේ අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමිපාණන් වහන්සේගේ ‘සමීපාතීතයේ බෞද්ධාචාර්යයෝ’ කෘතියෙනි.
ඡායාරූපයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ ගාල්ලේ කිතුලම්පිටියේ ආනන්ද පිරිවෙණේ ආදිකර්තෘභූත වැලිවිටියේ ශ්‍රී ධම්මරතන නාහිමිපාණන් වහන්සේ වැඩසිටිති.