ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදිය.
නැවත දරුණු අරාජිකත්වයක් හා පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති ශක්තිමත් රටක් ගොඩනැගිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බැවින් තම පෞද්ගලික දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් මෙම තීරණය ගත් බව එම මන්ත්‍රීවරු පවසා තිබේ.
තමන් අසීරුවෙන් ගොඩනැගූ පක්ෂය රට ගැන නොසිතා සුළුතරයක බලපෑම මත ගනු ලැබූ තීරණය ප්‍රතික්ෂේප කර මෙම තීරණයට එළැඹි බව පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එක්ව සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ වනවිට හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පක්ෂ සාමාජිකත්වය ද තමන් ගත් තීරණය නිවැරදි බව සහතික කර ඇති බවත් පවසා තිබේ.
රටේ ආර්ථිකය අස්ථාවර වී, නීතිය හා සාමය කඩ වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහ මඟ ඝාතනය කළ තැනට වැටී තිබු රට දෙවසරක් තුළ ස්ථාවරත්වයට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවත් එදා ඔහු පිළිබඳ තැබූ විශ්වාසය කඩ නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, 2022 වසරේ මේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක්වු අවස්ථාවේ රට ගොඩනැගීමේ වගකීම තමා භාරගත්තේ තනිව නොවන බවත් එදාද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමග එක් වූ බවත්ය.
ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමග එක් වූ බවත් ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව මේ රටේ ජනතාව අද විශ්වාස කරන බව ද පැවසීය.
රට ගොඩනැගීමට තමාට සහාය ලබාදෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කර තිබේ.
අමාත්‍යවරුන් වන අලී සබ්රි, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, ඩී.බී හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජනක වක්කුඹුර, ජෝන් සෙනෙවිරත්න, ඩග්ලස් දේවානන්ද, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දක්වා තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්ව ඇත.