Headlines

    දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් වැඩ අරඹයි.

    දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් ඊයේ (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරිණ.

    කිලෝ මීටර් 28කින් යුත් මෙම උමග වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ මෙය ඉදි කෙරේ. මෙය මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම ලෙස උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල සිට රජරටට ජලය ගෙන යාම ව්‍යාපෘතියේ අරමුණයි.

    මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවල අතිරික්ත ජලය කි.මි 65ක ඇල මාර්ගයක් ඔස්සේ යකල්ල දක්වා ගෙන යනු ලැබෙන අතර ඇල මාර්ගය සැකසීමේ දී අභය භූමි 03ක් පසුකර යාමට සිදු වේ. ඒ හේතුවෙන් පරිසරයට සහ වන සතුන්ට වන හානිය වළකනු පිණිස වාරි උමග ඉදි කෙරේ.

    ඒ අනුව ඇලහැර කෝඳුරුවැවෙන් ආරම්භ වන මෙම උමග පලුගස්වැව මහමීගස්වැවෙන් අවසන් වෙයි.

    ඊයේ (05) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවණය කර මංගල පස් පිඩැල්ල කැපීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු විය.

    මෙහි දී අදහස් දැක්වූ මහවැලි කලාප ආශ්‍රිත ඇල වේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පැවසුවේ, “සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් වෙමින් රජ රටට මෙතෙක් සිහිනයක් වී තිබූ පානීය හා වගා ජලය උතුරු මැද පළාත් මහ ඇළ ඔස්සේ ලැබීමෙන් ජන ජිවිතය පණ ගැන්වෙන බවය.

    වසර 06කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය වසර 04 කදී එනම් 2025 වන විට අවසන් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන අතර ශ්‍රි ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියේ උමං මාර්ගය සඳහා වැය කෙරෙන මුදල අමරිකානු ඩොලර් මිලියන 244කි.

    උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ දරිද්‍රතාවට සහ වකුගඩු රෝගයට ජල ගැටළුව ප්‍රබල සාධකයක් වී ඇති පසුබිමක මෙම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පවුල් 25,000කට ප්‍රතිලාභ සැලසී ම සිදුවන අතර කුඩා වැව් 1200කට ජලය සැපයීමෙන් හෙක්ටයාර 43,000ක් යල මහ දෙකන්නයේ අස්වැද්දීමට අපේක්ෂිතය.

    ත්‍රෛනිකායික මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරු,උතුරු හා උතුරු මැද පළාත් මහජන නියෝජිතයින්, අමාත්‍යාංශය ලේකම්වරු හාරාජ්‍ය නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට ඊයේ (05) එක්ව සිටියහ

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *