ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝග අප රටෙහි සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකාවේ බහුලතම බෝ නොවන රෝග හතරෙන් ඒකක් ලෙස දියවැඩියාව හදුනාගෙන ඇත.
මෙලෙස දියවැඩියාව වර්තමානය වන විට ජනතාව අතර බහුලව ව්‍යාප්ත වීම හේතුවෙන් ඒම රෝගය පිළිබද වැඩි අවදානයක් යොමු කරමින් සෑම වසරකම ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 වන දින සමරනු ලබයි.
අද ලෝකයම මුහුණපා සිටින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දියවැඩියා රෝගීන් කිසියම් අභියෝගයකට මුහුණපා සිටියි. වර්තමානයේ අසන්නට ලැබෙන පුවත් හමුවේ කොවිඩ් ආසාදිතයන් අතර යම් ජීවිත අවදානම් තත්ත්වයකට මුහුණ පෑමට සිදුවන්නේද කොවිඩ් අසාද්‍ය තත්ත්වයට පත්වන්නේද දියවැඩියාව සහ බෝනොවන රෝග හා නිදන්ගත රෝග වලින් පෙළෙන්නන් හටය. මෙම තත්ත්වය තුළ දියවැඩියා රෝගීන් කොවිඩ් රෝග ලක්ෂණ පළකරයි නම් හෝ නිරෝධායනය වෙමින් සිටින අවස්ථාවේ කොවිඩ් ලක්ෂණ පෙන්නුම් කරයි නම් ප්‍රතිකාර ගැනීමට යොමුවීමට කිසියම් අනියත බියක් ඇතිකර ගැනීම නිසා වඩා බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන බව නිතර අසන්නට ලැබෙයි.
ශාරීරික ක්‍රියාශීලීබව, සෞඛ්‍යමත් ආහාර පුරුදු වැනි නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීම මගින් දියවැඩියා රෝගය වළක්වාගත හැකි අතර නිසි ප්‍රතිකාර ගැනීම මගින් මෙම රෝගය පාලනය කර සංකූලතා ඇතිවීමද වළක්වාගත හැකිවෙයි.
කොවිඩ් දියවැඩියාවට කෙලෙස බලපායි ද?
කොවිඩ් 19 වසංගතය ඇති මේ දිනවල බෝ නොවන රෝගාබාධ ඇති අයට කොවිඩ් 19 රෝගය වැළදීමේ වැඩි අවදානමක් ඇති බව හදුනාගෙන ඇති බැවින් දියවැඩියා රෝගය පාලනය කිරීම වඩා වැදගත් වේ. මෙම කාලසීමාව තුළ රජයේ සායන වලට සහභාගී වන දියවැඩියා රෝගීන් හට අත්‍යවශ්‍ය ඖෂධ නිවසටම ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය බොහෝ උත්සාහයක් ගෙන ඇති අතර, අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සදහා රජයේ රෝහල් විවෘතව ඇති හෙයින් අවුරුදු 60ට වැඩි දියවැඩියා රෝගීන් නිවසින් බැහැර නොගොස් ඔවුන්ගේ නිවසේ සිටින තරුණ ප්‍රජාව මගින් බෙහෙත් ගෙන්වාගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු වේ.
ඔබ නිරෝධායනය වන දියවැඩියා රෝගියෙකු නම් ඔබට පහත සදහන් රෝග ලක්ෂණ ඇතිදැයි සැලකිලිමත් වන්න..
රුධිරගත සීනි මට්ටම අඩු වීමේදී ක්ලාන්තය, අධිකව දහඩිය දැමීම, මානසික ව්‍යාකූලත්වය හා වලිප්පුව ඇතිවිය හැකිය. රුධිරගත සීනි මට්ටම වැඩි වීමේදී උදර වේදනාව, ඔක්කාරය හා වමනය, සිහිමද ගතිය ආදිය ඇතිවිය හැකිය. පෙර නොතිබූ අසාමාන්‍ය පපුවේ හිරවීමක් හෝ හුස්මගැනීමේ අපහසුවක් ද ඇතිවිය හැකිය.
මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දීමට කිසි විටෙක පසුබට නොවන්න. මෙවැනි අවස්ථා සදහා අවශ්‍ය සහාය ලබාගැනීමට 1999 සහ 0117 966 366 සුවසැරිය දුරකතන අංක සහ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ඔබ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මකව පවතී.
ක්‍රියාශීලී බව සහ සෞඛ්‍යමත් ජීවන රටාව තුළින් දියවැඩියාව පරදමු.. කොවිඩ් වසංගතය හමුවේ දියවැඩියාවට හිස ඔසවමින් ව්‍යාකූල තත්ත්වයන් ඇති කිරීමට ඉඩ නොදෙමු.. කොවිඩ් සහ දියවැඩියාව යන දෙකම පරදවා නිරෝගීභාවය ළගාකරගමු….
(උපුටාගැනීමකි)