වර්තමානය වනවිට අප රට පමණක් නොව මුළු ලොවම ලෙඩ කරන පිළිලක් වී තිබෙන්නේ ප්ලාස්ටික් සහ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics)ය. ඒ ජෛව අජෛව සියලු සංරචකයන්ට එකසේ බලපෑම් කරන බැවින් ය. මයික්‍රො ප්ලාස්ටික් ප්‍රධාන වශයෙන් ප්‍රාථමික හා ද්විතීයික ලෙස පරිසරයට එකතු වන අතර ඒ දෙවිදියට නිකුත් වන ප්ලාස්ටික් පරිසරයේ පවතින්නේ කුඩු ලෙසය.
“මයික්‍රො ප්ලාස්ටික් යනු ප්ලාස්ටික්වලින් කැඩුණු මිලිමීටර් 5ක් මිලිමීටර 1ක් විශාල පුංචි ප්ලාස්ටික් කැබලි. මේවා පුද්ගලයන් විසින් නිර්මාණය කර ඇති අතර පරිසරයට අනුව ක්‍රියා නොකරනවා මෙන් ම දිරාපත් වන්නේ ද නැත. එමඟින් රසායනික ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය රෝග කාරක එක්වෙනවා. ජලයට මයික්‍රො ප්ලාස්ටික් එක්වූ විට පේන්නේ නැහැ. මේ නිසා වායු දූෂණය ද සිදුවනවා. වායු ගෝලයට මේ මයික්‍රො ප්ලාස්ටික් එක්වූ විට කවදාවත් ඒවා ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව මයික්‍රො ප්ලාස්ටික් වායු දූෂණය කර ලෙඩ රෝග ද නිර්මාණය කරනවා. මෙහිදී පරිසරයේ සංයුතිය ද වෙනසකට ලක්වෙනවා. මේ ද්‍රව්‍ය (මයික්‍රෝ ප්ලාස්ටික්) තත්ත්වය අපට පේන්නේ නැති නිසා ඉතා භයානක තත්ත්වයකි.” යනුවෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.
මෙරට දිනකට එකතුවන ප්ලාස්ටික් පොලිතින් මිශ්‍ර කුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 700ක් වන අතර මේ ප්‍රමාණයෙන් ප්‍රතිචක්‍රීකරණයට ලක්වන්නේ මෙට්‍රික් ටොන් 100 ක් පමණයි. මීට අමතර ව තවත් මෙට්‍රික් ටොන් 90 ක් ජලමාර්ග වලට එකතු වෙමින් සාගරයට එක් වන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 500 අප පරිසරයට එකතු වීමක් සිදුවෙයි. මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය ප්‍රකාශ කරන පරිදි අපේ රට ඇතුළත වසරකට එකතුවන ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 1610 ක් පමණ බවයි ඇස්තමේන්තු වන්නේ.

“ වසරකට මෙරට වෙරළ තීරයේ පමණක් ප්ලාස්ටික් කිලෝ ලක්ෂ 322ක් පමණ එකතුවන වෙනවා. එයින් 99%ක් ම මහ මුහුදට එක්වන අතර මේ ප්ලාස්ටික් දිරීමට වසර 200 – 1000ක් පමණ ගතවෙනවා. එමෙන් ම ප්ලාස්ටික්වලින් 30%ක් මහ මුහුදේ පාවෙනවා. ඉන් 70%ක් මුහුද පත්ලට ගිලා බසිනවා. එහෙත් ප්ලාස්ටික් දිරා ගියපසු ඒවා කුඩු බවට පත්වී ජෛව ගෝලය, ජල ගෝලය, වායු ගෝලය සහ ශිලා ගෝලය දූෂණයට ලක් කරනවා. එවිට නිර්මාණය වන්නේ මයික්‍රො ප්ලාස්ටික්. ඒ අනුව 0.5mmට අඩු ප්ලාස්ටික් කැබලි තමයි මයික්‍රෝ ප්ලාස්ටික් ලෙස හැඳින්වෙන්නේ.” – සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටී. ප්‍රදීප් කුමාර
ශ්‍රී ලංකාවේ සාගර කලාපය ආශ්‍රිත කුඩා මසුන්ගේ 90%කට වැඩි ප්‍රමාණයක මයික්‍රො ප්ලාස්ටික් අන්තර්ගත බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. එම පර්යේෂණය සිදුකර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික පර්යේෂණ විද්‍යාඥවරියක වන විනුරි සිල්වා. ත්‍රිකුණාමලය, කුඩාවැල්ල, මීගමුව ධීවර කලාපවලින් හාල්මැස්සා, හුරුල්ලා, සාලයා යන මසුන් වර්ග මේ සඳහා යොදා ගෙන තිබෙනවා. මේ සඳහා කොළඹ නාරා ආයතනයෙන් ද සහාය ලැබී තිබෙනවා. මෙරට බහුතරයක් මාසුන්ගෙන් 5mmට වඩා අඩු ප්ලාස්ටික් කොටස් විශාල ප්‍රමාණයක් හඳුනාගෙන තිබුණා. මේ සඳහා මෙරට වෙරළෙන් මත්ස්‍යයින් 150කට වඩා පර්යේෂණයට යොදා ගෙන තිබෙනවා. 90%කට වැඩි ප්‍රමාණයක ප්ලාස්ටික් අන්තර්ගත බවයි එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙන්නේ.
ප්ලාස්ටික් හා මයික්‍රෝ ප්ලාස්ටික්වලට අදාළ නීතිමය තත්ත්වය පිළිබඳ කරුණු විමසීමේදී මයික්‍රෝ ප්ලාස්ටික් ගැටලුවට විසඳුම් ලබාදීමට මෙරට ඇති අණපනත් වලින් හැකියාවක් පවතිනවා. මේ ගිය වසරේ ජනවාරි 1 වැනිදා සිට ඉන්දියාව මයික්‍රෝ ප්ලාස්ටික් තහනම් කර තිබෙනවා. ඒ අනුව අපට ද අදාළ නීති රීති පනවා එම ක්‍රියාමාර්ගවලට අනුගත විය හැකි බව විද්වතුන් පෙන්වා දෙනවා.
ජාතික පාරිසරික පනතේ 4ආ කොටසේ 23ද වගන්තිය අනුව යම් සුදුසු ද්‍රව්‍යයක් ලංකාව තුළට ගෙන්වීම බෙදාහැරීම හා භාවිතය තහනම් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව මයික්‍රෝ ප්ලාස්ටික් තහනම් කිරීමට හැකියාව පවතිනවා. ඒ සඳහා පරිසර ඇමැතිවරයාගේ අත්සනින් යුත් නියෝගයක් ගැසට් පත්‍රයේ පළ කළ යුතුයි. මීට අමතර ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10 වැනි වගන්තිය අනුව මයික්‍රෝ ප්ලාස්ටික් කැටිති තහනම් කිරීමට හැකියාව පවතිනවා. ඒ අනුව පනත් දෙකෙන්ම සමගාමී නියෝග දෙකක් එකවර පැනවුවහොත් මේ තහනම සාර්ථක වන බව පැහැදිලි යි. මේ සඳහා කාලානුරූප තහනමක් පැනවීම සුදුසු බව ද ඒ අනුව අපේ රටේ මයික්‍රෝ ප්ලාස්ටික් තහනමක් සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් පවතිනු ඇත.
(උපුටාගැනීමකි)